
දිවයින පුරා සහල් වැටලීම් තවදුරටත්
වෙළෙඳපොලේ සහල් වැඩිමිලට අලෙවිකරන සහ සඟවාතබන වෙළඳුන් සොයා දිවයිනේ සියලුම දිස්ත්රික්කවලට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන වැටලීම්වලට අමතරව ඔවුන්ගේ සහයට විශේෂ කණ්ඩායම්ද යොදවා සිදුකරන වැටලීම් අඛණ්ඩව තවදුරටත් ක්රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පසුගිය කාලසීමාව තුල එවැනි වැටලීම් ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, රත්නපුර, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්රික්කවල සිදුකරන ලද අතර වැඩි මිලට සහල් අලෙවිකරනු ලබන බවට වාර්තා වන සහ පැමිණිලි ලැබෙන ප්රදේශවලට විශේෂ කණ්ඩායමද යෙදවීමට කටයුතු කර ඇති බව සඳහන්.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ඊයේ (11) කුරුණෑගල දිස්ත්රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා සිදුකරන ලද වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් පමණ සිදුකර තිබෙනවා.
කුලියාපිටිය, නාරම්මල , ගිරිඋල්ල , මාවතගම , පොල්ගහවෙල , අලව්ව , උහුමිය , නාරම්මල , නිකවැරටිය, කොබෙයිගනේ , හෙට්ටිපොල , ගල්ගමුව , අබන්පොල , දළදාගම සහ මහව යන ප්රදේශවල මෙම වැටලීම් සිදුකරන ලද අතර එහිදී ආනයනික සම්බා සහල් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා රුපියල් 270 වැනි මිල ගණන්වලට අලෙවිකරණ ලද වෙළදුන්ද වැටලීම්වලට ලක්ව ඇති බව සඳහන්.
පුද්ගලික සමාගමක්ද ඇතුළුව සියලුම වෙළදුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්රියාමාර්ග ගැනීමට නියමිත අතර සහල් වැඩි මිලට අලෙවිකිරීමකදී අධිකරණයේ නඩු පැවරීමකින් පසුව වරදකරු වුවහොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ නියමකළ හැකි අවම දඩය රුපියල් ලක්ෂයක් පමණ වන බව සඳහන් කරන එම අධිකාරිය මාස 6ක සිර දඩුවම්ද ලබාදියහැකි අතර එසේ නොමැතිනම් ඉහත දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම ලබාදීමටද පනත යටතේ හැකියාවක් පවතිනවා.
එමෙන්ම සහල් සඟවාතැබීම සම්බන්ධව සිදුකරන වටලීම්ද තවදුරටත් ක්රියාත්මක වන අතර පසුගිය 10 දින පිටකොටුව ප්රදේශයේ සිදුකරන ලද එවැනි වැටලීමකදී සගවා තබන ලද කීරි සම්බා කිලෝග්රෑම් 5 අසුරන 3000 ක්ද නිලධාරීන් විසින් තම භාරයට ගෙන වැටලීම් සිදුකර නඩු පවරා තිබෙනවා.
ඒ අනුව සහල් විකිණීම ප්රතික්ෂේප කිරීම හෝ සඟවා තබා ගැනීම සිදු නොකරන ලෙසද වෙළදුන් දැනුවත් කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.