
දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇති වගකීම පැහැදිලි කළ ජනපති
සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවේ සඳහන් කර තිබෙනවා.
අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.
ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව එහිදී පැහැදිළි කර තිබෙනවා.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන අතර රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බව සඳහන්.
2025 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ වැටුප් හා අතිකාල දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන ඇති අතර කාණ්ඩ වශයෙන් එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවයේ මැද ස්ථරය එමඟින් සම්පූර්ණ වන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
සංවර්ධනය යනු ගොඩනැඟිලි, පාලම් ඉදිකිරීම පමණක් නොවන බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබිය යුතු අතර එහි ප්‍රධාන කාර්යභාරයක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පවතින බවයි ප්‍රකාශ කර ඇත්තේ.
තම දිස්ත්‍රික්කවලට අදාළ ගැටලු මෙහිදී දිසාපතිවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර ඊට අදාළ විසඳුම් ලබා ගැනීමේ අදහස් සහ යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.