දුම්රිය අවලංගුවීම නිසා සිදු වන දෛනික පාඩුව ගැන විගණනයක්

දුම්රිය අවලංගුවීම නිසා සිදු වන දෛනික පාඩුව ගැන විගණනයක්

දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය මැයි මස කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සලකා බැලීම සිදු වූ අතර එහිදී අනාවරණය වූ කරුණු මත නැවත මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.

මේ සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ද කැඳවීමට තීරණය කෙරුණු අතර ඒ අනුව එම නිලධාරීන්ද මෙම කාරක සභා රැස්වීම සඳහා සහභාගී වුණා.

පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වූ අතර 2021 වර්ෂයේ සිට 2024 වසර දක්වා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් අයුරින් පවත්වා නොමැතිවීම පිළිබඳව කාරක සභාව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් කරුණු විමසන ලදි.

මේ අනුව එම හිටපු නිලධාරීන් පෙන්වා දුන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහිත කාලසීමාව තුළ කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම් අඩපණ වූ බවයි.

නමුත් 2024 වර්ෂයේ එය විධිමත් කිරීමට සැලසුම් කර තිබුණත් නිලධාරීන් ස්ථාන මාරුවීම නිසා සැලසුම්කර තිබූ අවසන් රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නිසා ආයතනයේ කාර්යක්ෂමතාව අවම වී ඇති බවත්, මෙය 2022 වර්ෂයේ දුම්රිය වාර 64ක්, 2023 වර්ෂයේ දුම්රිය වාර 61ක් සහ 2024 වර්ෂයේ දුම්රිය වාර 46ක් ප්‍රමාද වී ධාවනය වීමට හේතුවක් වී ඇති බවත්ය.

මේ නිසා දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර අනතුරුව දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වළක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

එසේම දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසද කමිටුව නිර්දේශ කරන ලදි.

මීට අමතරව පසුගිය වසර 5 ඇතුළත ලබාගත් මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කළ බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කල නිවේදනයක සඳහන්.

මෙම රැස්වීමට කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍ය මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන ජේ.සී. අලවතුවල, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, චන්දන සූරියආරච්චි, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) ජනක සේනාරත්න සහ මංජුල සුරවීරආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියා.

Share This