දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් අල්ලස් කොමිසමෙන්  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට

දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට

වැඩ තහනමට ලක් කර තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරෙකු වන අයි.එල්.කේ. දිසානායක නමැත්තා තවදුරටත් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වසර හතරක පමණ කාලයක් සේවයේ යෙදවීමට කටයුතු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (3) නියෝග කළා.

ඔහු ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා.

එසේ ඇප මත මුදාහැරියේ එම දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වන එස්.එම් අබේවික්‍රමයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, ගනේමුල්ල සහ මිරීගම යන ප්‍රදේශවල දුම්රිය අනතුරු 2 ක් සිදු කර රජයට රුපියල් ලක්‍ෂ 89ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දිසානායක නමැති රියදුරාගේ වැඩ තහනම් කර ඇති බවයි.

එම රියදුරුගේ රාජකාරී කටයුතු එසේ තහනම් කර තිබියදී සැකකාර සාමාන්‍යාධිකාරීවරයා විසින් ව්‍යාජ නමක් ඇතුලත් කර නීත්‍යනුකූල නොවන ආකාරයෙන් එම රියදුරු වසර හතරකට අධික කාලයක් සේවයෙහි රඳවා තබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී කරුණු අනාවරණය වීමෙන් අනතුරුව සැකකාර සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද විමර්ශන නිලධාරීන් කරුණු දක්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ කියා සිටියේ වැඩ තහනමට ලක්කර ඇති රියදුරු 2008 වර්ෂයේ ගනේමුල්ල ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් හා 2017 වසරේ මිරීගම ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවයි.

තවද වෙනත් දුම්රිය අනතුරු සම්බන්ධයෙන් චෝදනා පත්‍ර 10 ක් ගොනු කර ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණට දැන්වුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

Share This