
දේශබන්දු තෙන්නකෝන් සාක්ෂි කැඳවීමේ කමිටුවේ වගඋත්තරකාර සාක්ෂි කැදවීම හෙට
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ කටයුතු හෙට (23) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂිකරුවන් 12 දෙනෙකු කමිටුවට කැඳවීමට නියමිතයි.
අධිකරණය මඟින් පොලිස්පතිධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තුව කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් මස අග භාගයේ සිට සාක්ෂි විමසීම සඳහා රැස් වුණා.
ඒ අනුව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි කැඳවීමේ කටයුතුයි ප්‍රථමයෙන් සිදු කෙරුණේ.
අදාළ සාක්ෂි කැඳවීමේදී වැලිගම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවකට කොළඹ අපරාධ කොට්ටාශයේ සේවය කල ඇනස්ලම් ද සිල්වා මහතා ඇතුළු සාක්ෂිකරුවන් රැසක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සිදු කළා.
ඊට අමතරව අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමටයි කටයුතු කළේ.
එහිදී වැලිගම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාක්ෂි කැඳවීම සිදු කෙරුණු අතර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි කැඳවීම ඉකුත් සිකුරාදා දිනයෙන් අවසන් වුණා.
ඒ අනුව වැලිගම වෙඩිතැබීම සහ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ කටයුතු හෙට සිට ආරම්භ වීමට නියමිතයි.
වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ ලේඛනයට අනුව සාක්ෂිකරුවන් 12 දෙනෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනු ඇති.
එහිදී බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමුව ඇති සාක්ෂිකරුවෙකු වන වැලිගම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා ද සාක්ෂි ලබා දීමට නියමිතයි.