දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදෙන්න ගෝලීය පුරවැසියන් ලෙස අප එක්විය යුතුයි (VIDEO)

දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදෙන්න ගෝලීය පුරවැසියන් ලෙස අප එක්විය යුතුයි (VIDEO)

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසත් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අද (12) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපතිවරයා මෙහිදී සිය දේශනය පැවැත්වූ අතර තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපාය මාර්ග සහ සැලසුම් සංවර්ධනයකෙරෙහි මෙම සමුළුව මඟින් ගාමක බලයක් ලබා දෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් මෙන්ම ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍ය බවයි එහිදී කියා සිටියේ.

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යයකට මෙන්ම කෘතහස්ත ලෝකයකට වැදගත් වන අතර, ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීම මෙන්ම නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩසැලසීමේ වැදගත්කම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළා.

ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහිතව 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ගෝලීය ආර්ථික මූල්‍යකරණයේදී කොන්දේසි දැඩිවීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමග ගෝලීය දැක්ම අතිශයින් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපා ගත හැකි මූල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීමේ වැදගත්කමද එහිදී පෙන්වාදුන්නා.

මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳවද අදහස් පළ කළ ජනාධිපතිවරයා, ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම පෙන්වාදුන් අතර රොබෝවරයෙකුගේ භාවිතය හේතුවෙන් රැකියා අහිමි වන මානව සම්පත සවිබල ගැන්වීම වෙනුවෙන් අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා අවස්ථාවන් හඳුනා ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ වෙනුවෙන් ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතු බවත් සඳහන් කළා.

‘අප සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු’ යන ආයාචනය බව ජනාධිපති අනුර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය”යන මාර්ටින් ලූතර් කිං ගේ ප්‍රකාශය උපුටා දැක්වූ ජනාධිපතිවරයා, “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ජනතාවද 2024 වසරේ දී එක් වූ බව පෙන්වාදුන්නා.

මෙම ඓතිහාසික සමුළුව හමුවේ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” යැයි ලෝක රාජ්‍ය සමුළු නියෝජිතයින්ට ආරාධනා කර තිබෙනවා.

ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමතා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්….

Share This