නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පක්ෂ – විපක්ෂ  මන්ත්‍රීවරුන්ට අගමැතිනියගෙන් පාඩමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ට අගමැතිනියගෙන් පාඩමක්

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ හමුවක් ඊයේ(22) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත් වුණා.

වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරමින් සිටින යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජය තුළ ලොකු උනන්දුවක් මෙන්ම සැලකිය යුතු මට්ටමේ කතාබහක් ද ඇති වී තිබෙන බවත්, ඒ පිළිබඳ අපි ආණ්ඩුව ලෙස සතුටු වන බවත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළා.

ඇය එහිදී පැවසුවේ මෙම හමුව කැදවනු ලැබුවේ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට සහ මේ පිළිබඳ ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබාගැනීමේ එක් පියවරක් ලෙස බවයි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සැකසු විස්තරාත්මක ලේඛනයක් මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණා.

අගමැතිනියගේ මූලික කරුණු දැක්වීමෙන් අනතුරුව, විස්තරාත්මක දෘශ්‍ය මාධ්‍ය පැහැදිලි කිරීමක් සිදු කළේ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය දර්ශන සමරවීර මහතායි.

අගමැති මාධ්‍ය ඒකකය පැවසුවේ අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවඥානම් ශ්‍රීධරන්, අජිත් පී පෙරේරා, රෝහිණි කවිරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය අදහස් දැක් වූ බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සාධනීය කාරණා වෙත තම සහායෝගය ලබා දෙන බවත් එහිදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා.

ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදාගැනීම කෙරෙහි සහ ඉංග්‍රීසි භාෂාව වඩා ප්‍රචලිත කිරීම, අධ්‍යාපනයට අවශ්‍ය මානව සම්පත් හැකි උපරිමයෙන් ලබාදීම යනාදි කරුණු පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නවලට, අගමැතිනිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් පිළිතුරු ලබා දුන් බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, විෂයමාලා ප්‍රතිසංස්කරණය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු එකක් නොව එකිනෙකට වෙනස් කාරණා දෙකක් බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙවර සිදුවන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය (System) එකම වෙනස් කිරීම බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.

ඇය පවසා ඇත්තේ එය කඩිමුඩියේ නොව කාලයක් රැගෙන, පරික්ෂාකාරීව අදියරෙන් අදියර ඉදිරියට කරගෙන යාමට නියමිත ක්‍රියාවලියක් බවයි.

මෙහි පළමු අදියර 2026 දී පළමු වසර සහ හය වසර සිසුන් සඳහා ක්‍රියාත්මක කරන බව ඇය පැහැදිළි කර තිබෙනවා.

එහිදී ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය එහිදී කළා.

ඇය පවසා ඇත්තේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සාපේක්ෂව වෙනස් මෙන්ම නව ප්‍රවේශයකින් ක්‍රියාත්මක කරන බවයි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, විෂයමාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්,අධ්‍යාපන පරිපාලන ව්‍යුහයේ ප්‍රතිසංකරණ, තක්සේරුකරණය සහ ඇගයීම් ක්‍රියාවලිය, මහජනයා දැනුම්වත්කිරීම හා ප්‍රචාරණය යන කුළුණු පහ මත පදනම් වන බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී පැහැදිළි කර තිබෙනවා.

පක්ෂ විපක්ෂ සියලූම මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීම් සහ ඔවුන්ගෙන් මතු වූ ප්‍රශ්නවලට සාවධානව සවන් දෙමින් ඒවාට නිසි පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වී ඇත්තේ මෙවැනි දැනුම්වත් කිරීම් ඉදිරියේදිත් සිදු කරන බවටයි.

 

 

Share This