නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම හෙට

නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම හෙට

පාර්ලිමේන්තුව හෙට (17) සහ අනිද්දා (18) රැස්වන අතර පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය එම දින දෙකේ පැවැත්වෙනවා

අද (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා කර ඇති බව සඳහන්

එමෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන විවාදය හෙට ප.ව 3.00 සිට ප.ව 6.30 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ

පාර්ලිමේන්තුව හෙට (17) පෙ.ව 9.30ට රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා

හෙට පෙ.ව 9.30 සිට පෙ.ව 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර ඇති අතර සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතයි

Share This