නව පොලිස්පතිවරයාගේ නම සලකා බැලීමට ව්‍යවස්ථා සභාව අද රැස් වේ

නව පොලිස්පතිවරයාගේ නම සලකා බැලීමට ව්‍යවස්ථා සභාව අද රැස් වේ

නව පොලිස්පතිවරයාගේ නම සලකා බැලීම සඳහා ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තු යෝජනාවක් සම්මතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහ කිරීමට පසුගිය 6 වැනිදා කටයුතු කළා.

ඉන් අනතුරුව පොලිස්පති ධුරයට පුද්ගලයෙකු නම් කිරීමේ වගකීම ජනාධිපතිවරයා වෙත පැවරුණු අතර, ජනාධිපතිවරයා මේ වනවිට පියවර ගෙන තිබෙන්නේ නව පොලිස්පති ධුරයට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව නම් කිරීමටයි.

පසුගිය සතියේ ව්‍යවස්ථා සභාව ඒ පිළිබඳ සලකා බැලීමට රැස් වුවද කරුණු කිහිපයක් හේතුවෙන් අදාළ තීරණය ගැනීම අද දින දක්වා කල් ගියා.

මේ අතර, ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සලකා බැලීමේදී ඔහු පිළිබඳව අතීත වාර්තා කිහිපයක් කැඳවා පරීක්‍ෂා කිරීමට ව්‍යවස්ථා සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම, ශ්‍රී ලංකා පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන ආයතනවලින් රහසිගත වාර්තා කැඳවා ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අතර, පොලිස් කොමිසමේ සාමාජිකාවක් ලෙස ක්‍රියා කළ රේණුකා ඒකනායක මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වන එම මහත්මිය පොලිස් කොමිසමට පත්වීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරියක ලෙස කටයුතු කළා.

ඇය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරිය සමඟ සිදු වූ ගනුදෙනුවකට අදාළව ඉකුත්දා පොලිස් පරීක්‍ෂණයකට ද කැඳවා තිබුණා.

මෙවන් පසුබිමක් මතයි රේණුකා ඒකනායක මහත්මිය පොලිස් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන්නේ.

මේ අතර, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත් වාර්තා වනවා.

Share This