න්‍යෂ්ටික අවි සහිත රටවලට චීනයෙන් අලුත් යෝජනා

න්‍යෂ්ටික අවි සහිත රටවලට චීනයෙන් අලුත් යෝජනා

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිහරණ ගිවිසුමේ එකොළොස්වැනි සමාලෝචන සමුළුව සඳහා සූදානම් වීමේ දෙවැනි රැස්වීම ආරම්භ වී තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එම සමුළුවේදී චීන විදේශ අමාත්‍යාංශයේ, අවි පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Sun Xiaobo මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික අවි සතු රටවල් පහ සාකච්ඡා පවත්වා, “න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකරන බවට” ගිවිසුමකට එළඹීමට හෝ ඊට අදාළව දේශපාලන ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුමේ අන්තර්ගත කරුණුවලට අදාළව චීනය යෝජනා ඉදිරිපත් කර ඇති අතර එම ගිවිසුමට අත්සන් කරන රටක්, කිසිදු අවස්ථාවක හෝ කිසිදු තත්ත්වයක් යටතේ ගිවිසුමේ සෙසු සාමාජික රටකට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන පළමු පාර්ශ්වය බවට පත් නොවිය යුතු බව සඳහන්.

න්‍යෂ්ටික අවි සහිත සෙසු රටවලට න්‍යෂ්ටික නිරායුධකරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා කොන්දේසි නිර්මාණය කිරීමේ දී, විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා සහිත රටවල් දෙක, අතිශය වගකීම්සහගතව න්‍යෂ්ටික අවි ගබඩාවන් හි පරිමාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු යැයි චීන නියෝජිතයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම “න්‍යෂ්ටික අවි පොදුවේ බෙදාගැනීම” සහ “න්‍යෂ්ටික බියගැන්වීම් ව්‍යාප්ත කිරීම” පිළිබඳ ක්‍රියාමාර්ග අත්හැර දමා වෙනත් රටවල රඳවා ඇති සිය න්‍යෂ්ටික අවි ඉවත් කර ගන්නා ලෙස චීනය විසින් අමෙරිකාවෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බව සඳහන්.

මේ අතර අමෙරිකාව බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාවට, අධිසාන්ද්‍ර යුරේනියම් අන්තර්ගත ආයුධ හුවමාරු ඇතුළත් වන බැවින් එය බරපතළ න්‍යෂ්ටික අවදානමකට තුඩුදෙනු ඇතැයි ද Sun Xiaobo මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

Share This