
නාමල් ට එරෙහි ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 ට කල් යයි
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වනදා යලි කැදවන ලෙස කොළඹ මහාධිකරණ අද(27) නියම කළා.
මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේදීයි.
එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛන වලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබා දෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බව සඳහන් කළා.
එම ලේඛන ලබාදීම සඳහා කල් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද කියා සිටියේ මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවත් ඒ සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවත් කියා සිටියා.
ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා අනතුරුව නඩුව සැප්තැම්බර් මස 26 වන දා කැඳවන ලෙස නියම කළා.
එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පැවසුවා.