නායයාම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

නායයාම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන් සහ එම ආයතනය මගින් නායයෑම් සහිත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ස්වංක්‍රීය වාර්ෂා මානයන්ගෙන් ලබා ගන්නා තත්කාලීන දත්ත පදනම් කරගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරන බව සඳහන් කරනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම පූර්ව අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 ක කාලයක් සදහා පමණක් නිකුත් කරනු ලබන අතර වර්ෂාපතනයේ වෙනස්වීම් මත පදනම්ව අදාල අයුරින් යාවත්කාලීන කරන බවයි.

තවද මෙම පූර්ව අනතුරු ඇගවීම් කලාපීය (Regional) මට්ටමින් නිකුත් කරනු ලබන අතර හදුනාගත් නායයෑම් අවදානම් ස්ථානයන්හි ජීවත්වන ජනයාගේ සහ අවදානම් බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉලක්ක කර අදාල නිවේදන නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරනවා.

කලාපීය මට්ටමින් නිකුත් කරනු ලබන පූර්ව අනතුරු ඇගවීමක් සමස්ථ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිකුත් කලද එයින් එම ප්‍රදේශ තුල අස්ථාවර ස්ථානවල නායයෑම් සම්භාවිතාව පිළිබදව දැනුම්දීමක් සිදු කරනු ලබන අතර එමගින් සමස්ථ ප්‍රදේශයම නායයෑමකට භාජනය වන බව අදහස් නොකරන බවත් අදාල නිවේදනයෙන් පැහැදිළි කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම කලාපීය පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන සම්මත විද්‍යාත්මක ක්‍රමවේද වලට අනුගතව සිදු කරනු බවයි.

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්ධීන් කළමනාකරණය සදහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින බවත්, මෙම ව්‍යසනය සියළු දෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් පවතින මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවදීමෙන් කටයුතු කල යුතුව ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිය නිවේදනයේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share This