නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්

ව්‍යාජ ලියකියවිලි සකස් කර ගොඩනැගිල්ලක් බදු දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් සහ කඩුවෙල නගරාධිපති ලෙස තේරී පත් වූ රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.

වෘත්තීය සමිති ජාතික කම්කරු ආයතනයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6 කට වංචනික ලියකියවිලි භාවිත කරමින් වෘත්තීය සමිති නිලධාරීන් බව පවසමින් සැකකරුවන් විසින් බදු දී ඇති බවට චෝදනා ගොනු කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන ලෙස අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම සඳහා මහින්ද ජයසිංහගේ සහ රන්ජන් ජයලාල්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.

ඇය වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළේ අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් දැනට ලබාගෙන ඇති ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කළාය.

ගොඩනැගිල්ලේ ඔප්පුව සහ නීතිමය තීන්දුවල පිටපත් ද ඒවාට ඇතුළත් විය යුතු බවද එම නියෝගයේ සඳහන්.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අමාත්‍ය වසන්ත සමරසිංහ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන ලෙසයි.

මහේස්ත්‍රාත්වරයා තීන්දුව ජූලි 25 වැනි දින දක්වා කල් දැමූ අතර, නියෝගය කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශය අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළා.

අගතියට පත් පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට පැවසුවේ, කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වෘත්තීය සමිතියට අයත් ගොඩනැගිල්ල බදු දීමට අමාත්‍ය වසන්ත සමරසිංහ, සිරිල් ආනන්ද නම් පුද්ගලයකු සමඟ එක් වූ බවයි.

පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පළමු බී වාර්තාවල මෙම කරුණු පැහැදිලිව සඳහන් කර ඇති බව ඔහු පැවසීය.

නඩුව ජූලි 25 වැනිදා යලි කැඳවීමට නියමිතයි.

Share This