
නිවාස අමාත්‍යාංශයෙන් දුප්පතුන්ට ගෙවල් හදයි
බියගම ආසනයේ මේ වසරේ අයවැය ප්‍රතිපාදන වලින් වෙන් කෙරුණු මුදල් යොදවමින්, ඉදිකෙරුණු නිවාස 3ක් ප්‍රතිලාභීන්ට පවරාදීම අද (30) නිවාස නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගේ සහභාගිත්වයෙන් සිදුවුණා.
“ඔබට ගෙයක් රටට හෙටක්” තේමාව යටතේ නිවාස ඉදිකිරීමට ලබාදෙන රුපියල් දස ලක්ෂයක මුදල යොදවමින් නිවාස ප්‍රතිලාභීන්ගේ ශ්‍රම දායකත්වය හා ග්‍රාමීය මට්ටමේ ජනතා සහයෝගයද ඇතිව මෙම ඉදිකර තිබෙනවා.
රුපියල් දසලක්ෂ නිවාස අධාර වැඩසටහනේ බියගම ආසනයේ නිවාස 17ක් මේ ආකාරයෙන් ඉදිකිරීමට නියමිතයි.
සියඹලාපේවත්ත ඒ.සුසන්ත මහතා වැඩසටහනේ ප්‍රථම ප්‍රතිලාභියා වූණා.
ඒ මහතාට දියණියන් තිදෙනෙකු සිටින අතර ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් සිය පවුල ජීවත් කරවනවා.
මෙම නිවාස ඉදිකිරීමේදී එම ග්‍රාමයේ ආබාධිත රණවිරුවෙක් වන ජයන්ත ප්‍රේමවර්ධන මහතා කුලී මුදලක් අය කිරීමෙන් තොරව පෙදරේරු වෘත්තිකයකු ලෙස සිය සහයෝගය ලබා දීම කැපී පෙනුණා.
එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා නියෝජිත මන්ත්‍රීවරයාද මෙම අසරණ පවුලට සිය සහයෝගය ලබාදී තිබෙනවා.
දෙවන නිවාස ප්‍රතිලාභියා වූයේ යබරළුව ග්‍රාම සේවා වසමේ ජි.ඒ ලක්ෂාන් මහතායි. කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියකු වන ඒ මහතා බියගම වෙළඳ කලාපයේ ආයතනයක තාවකාලික රැකියාවක යෙ දී සිටිනවා. එම නිවාස ඉදිකිරීමට ද ග්‍රාමයේ ජීවත් වන වීරසූරිය මහතා, පෙදරේරු කටයුතු ඉතා අඩු කුලියක් මත නිවාස ඉදිකිරිමට සහාය වී තිබුණා.
තුන්වන ප්‍රතිලාභියා වූයේ බියගම සමඟි මාවතේ කපුරුගේ ප්‍රේමලතා මහත්මියයි. ඇයගේ එකම පුත්‍රයාගේ බිරිඳ දරුණු වකුගඩු රෝගාබාධිතයෙක්. ඔවුන්ද ඉතා අසරණ පවුලක් වනවා.