නිහඩ නොවන තුවක්කු නිසා දුක් විදින වන අලි – රිටිගල කරපටියාත් උන්ඩ නිසා ආබාධිතයි

නිහඩ නොවන තුවක්කු නිසා දුක් විදින වන අලි – රිටිගල කරපටියාත් උන්ඩ නිසා ආබාධිතයි

ලෝක අලි දිනය අදට(12) යෙදී තිබෙනවා.

ජාත්‍යන්තර වාර්ෂික උත්සවයක් ලෙස එය ලොව පුරා අලි ඇතුන්ගේ සංරක්ෂණය හා ආරක්ෂාව වෙනුවෙන් සැමරෙනවා.

2011 වසරේ දී කැනේඩියානු චිත්‍රපට නිෂ්පාදකයින් වන පැට්‍රීෂියා සිම්ස් සහ කැනස්වෙස්ට් පික්චර්ස් හි මයිකල් ක්ලාක් සහ තායිලන්තයේ අලි නැවත හඳුන්වාදීමේ පදනමේ මහ ලේකම් සිවපෝර්න් ඩර්දරනන් සංකල්පය හදුන්වා දීමේ පුරෝගාමීන්.

2012 වසරේ අගෝස්තු 12 වන දින පැට්‍රීෂියා සිම්ස් සහ අලි නැවත හඳුන්වාදීමේ පදනම විසින් නිල වශයෙන් මේ දිනය ආරම්භ කර තිබෙනවා.

ඊට දැන් වනජීවී සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා රටවල බොහෝ පුද්ගලයින් පිළිගෙන සමරනු ලබනවා.

මේ අතර අපේ රටේ ද වන අලින් සහ ජනතාව අතර කලක පටන් පවතින ගැටුම වඩාත් කතා බහට ලක්කරන්නේ එවන් පසුබිමකයි.

මේ දිනවල කලාවැව ජාතික උද්‍යානයේ අලි රංචුවේ සිටින වනසත්ව ලෝලීන් අතර කරපටියා නමින් ප්‍රසිද්ධව සිටින වන අලියා වෙඩි වැදීමකින් තුවාල ලබා සිටිනු දක්නට ලැබෙනවා.

වෙඩි වැදීමෙන් තුවලා ලබා සිටින එම වන අලියාට ප්‍රතිකාර කිරීම ඊයේ(11) සවස කලාවැවේදී සිදු කෙරුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටින මෙම වන අලියා වයස අවුරුදු 35ක් පමණ වන අතර අලියාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල රැසක් දක්නට ලැබෙනවා.

වනජීවී නිලධාරීන් පවසන්නේ බඳින තුවක්කුවක් පත්තු විමෙන් වන අලියා මෙලෙස තුවාල වී ඇති බවයි.

එම අලියාගේ ශරීරය පුරා වෙඩි තැබීම්වලින් සිදුවූ බවට සැලකිය හැකි සළකුණු රැසක් ද දක්නට ලැබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටින මෙම වනඅලියා සම්බන්ධයෙන් ගල්කිරියාගම වනවසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සිදුකර ඇති දැනුම්දීමක් අනුව, වයඹ වනජීවි කලාපයේ නිකවැරටිය වනජිවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් කලාවැව ජාතික උද්‍යානයේ සිටින වන අලියාට ප්‍රතිකාර කිරීමට කටයුතු කළා.

තුවාල ලබා සිටින වන අලියා කලාවැව ජාතික උද්‍යානයේ නීකිණියාව ප්‍රදේශයේ දී වන අලි රංචුවක් සමඟ සිටියදී සොයා ගැනීමට වනජීවි නිලධාරීන්ට හැකිවූ අතර, තුවාල ලබා සිටින එම වන අලියා නිර්වින්දනය කිරීමෙන් පසු ප්‍රතිකාර ආරම්භ කෙරුණා.

කලාවැව ජාතික උද්‍යානය හා රිටිගල රක්ෂීතයේ සැරිසරණ මෙම වන අලියා වනසත්ව ලෝලීන් අතර ප්‍රසිද්දියට පත්ව ඇත්තේ රිටිගල කරපටියා ලෙසයි.

 

 

Share This