නීතිඥ ගුණරත්න වන්නිනායක ගේ ගල්කිස්ස අධිකරණ භූමියේ හැසිරීමටත් පොලිස් පරීක්ෂණයක් (VIDEO)

නීතිඥ ගුණරත්න වන්නිනායක ගේ ගල්කිස්ස අධිකරණ භූමියේ හැසිරීමටත් පොලිස් පරීක්ෂණයක් (VIDEO)

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බව කියන සිද්ධියෙන් පසු අධිකරණ භූමිය තුළදී හැසුරුණු ආකාරය සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ පොලිස් නිලධාරීන්ට සාපරාධී ලෙස බලපෑම් කිරීම පදනම් කරගෙන මේ විමර්ශනය ක්‍රියාත්මක බවයි.

මේ අතර, උසාවි භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදුන් බව කියන පොලිස් නිලධාරීවරයා ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඊයේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන මෙවැනි තත්ත්වයක් හටගත්තා.

මේ සිද්ධියෙන් අනතුරුව අදාළ පහරදීම සිදුකළ බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිසිය පැවසුවේ පොලිස් නිලධාරියා නීතිඥවරයාට පහරදුන් බවට සාක්‍ෂිද ඉදිරිපත් වූ බවයි.

මේ අතර, අදාළ සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ පොලිස් නිලධාරියා නීතිඥවරයෙකුට කළ පහරදීම හෙළා දැක තිබෙනවා.

එහි දැක්වෙන්නේ පොලිසිය නීතිඥවරයෙකුට පමණක් නොව වෙනත් කවර පුද්ගලයෙකුට මෙලෙස පහරදෙන්නේ නම් ඊට එරෙහිව තම සංගමය දැඩිව පෙනී සිටින බවයි.

මේ අතර, අදාළ සිද්ධිය දැක්වෙන වීඩියෝව සමාජ ගතවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලිසිය එම අවස්ථාවේ පොලිසියට විරෝධය පළ කළ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක බවයි ගල්කිස්ස පොලිසියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ.

Share This