නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීමට රජය තීරණාත්මක පියවරක: දිස්ත්‍රික් මට්ටමින් ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹේ

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීමට රජය තීරණාත්මක පියවරක: දිස්ත්‍රික් මට්ටමින් ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පතට සහ ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්මට බරපතල තර්ජනයක් වී ඇති නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම සඳහා පුළුල්, ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට එළඹී ඇත්තේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති විශේෂ සාකච්ඡාවක දීයි.

වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් සහ රොෂාන් අක්මීමන යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර දෙපාර්තමේන්තුව, නාරා ආයතනය සහ පුපුරන ද්‍රව්‍ය පාලක යන ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබුණා.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පැවසුවේ නීති විරෝධී ආම්පන්න පාවිච්චි කරමින් මෙරට මුහුදු සීමාවත්, ධීවර ජනතාවත්, සමස්ත සමුද්‍ර සම්පතත් විනාශ කරන ක්‍රියාවලියකට තිත තැබිය යුතු බවයි.

ලයිට් කෝස්, ලයිලා සුරුක්කු දැල් සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය විශාල බව එහිදී ධීවර අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා.

වෙරළබඩ දිස්ත්‍රික්ක 15 ම ආවරණය වන පරිදි, නාවික හමුදාව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ධීවර ප්‍රජා නියෝජිතයින්ගෙන් සමන්විත ශක්තිමත් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඉන් එක් තීරණයක්.

එහිදී එක් එක් දිස්ත්‍රික්කයට අනන්‍ය වූ නීති විරෝධී ක්‍රියා හඳුනාගෙන ඒවා මැඬලීමට විධිමත් සැලසුම් සකස් කිරීම මෙමගින් සිදු කිරීමට නියමිතයි.

මුහුදේදී සිදුවන නීති විරෝධී ක්‍රියා පිළිබඳව මහජනතාවට සහ ධීවර ප්‍රජාවට ක්ෂණිකව තොරතුරු ලබාදීමට විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් (Hotlines) හඳුන්වාදීම මේ වනවිටත් ආරම්භ කර තිබෙන අතර තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවයේ රහස්‍යභාවය සුරක්ෂිත කිරීමට බලධාරීන් පූර්ණ සහතිකය ලබාදීම දෙවැනි එකග තාවයි.

ඒ අනුව නාවික හමුදාව: 105

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව: 106

දැනට පවතින ධීවර පනත වෙනුවට නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුගත කිරීමටත්, පවතින රෙගුලාසි කාලීන අවශ්‍යතාවලට ගැලපෙන සේ සංශෝධනය කිරීමටත් තීරණය වී තිබෙනවා.

නීති විරෝධී ධීවර කටයුතු බහුල ප්‍රදේශ ඉලක්ක කර, අදාළ ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්ෂණික වැටලීම් ඉහළ නැංවීමටත්, ඊට සමගාමීව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය වී තිබෙනවා.

 

Share This