
නුගේගොඩ රැස්වීම ආණ්ඩු හදන සංධානයක් නොවෙයි – උදය ගම්මන්පිල කියයි (VIDEO)
නොවැම්බර් 21 දා නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට විපක්ෂයේ සමහර පක්ෂ සහන්හාගී නොවන්නේ ප්‍රතිපත්තිමය හේතුන් යැයි පවසා තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එක පක්ෂයක් හැර අනිත් සෑම පක්ෂයක්ම තමන්ට සුබ පතා තිබූ බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා අදහස් පළ කරමින් පැවසුවේ නුගේගොඩ රැස්වීම ආණ්ඩු හදන සංධානයක් නොවන බවයි.
එහිදී තවදුරටත් අදහස් පළ කරමින් විපක්ෂය දැඩි දෝෂදර්ශනයට ලක් කළා.
” මේ රැස්වීමට සහභාගි නොවීම තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක විවේචනය කරන්නේ ආණ්ඩුවයි, විපක්ෂයේ තිබෙන එකම එක පක්ෂයකුයි විතරයි නම් ඒ පක්ෂයත් ආණ්ඩුවත් අතර ඩීල් එකක් තිබෙන බව පැහැදිලියි. ආණ්ඩු විරෝධි රැස්වීමකට ආණ්ඩුව බය වීම තේරුම් ගන්න පුළුවන්. ඒත් විපක්ෂයේ පක්ෂයක් බය වෙලා තිබෙන්නේ ඇයි?
විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම මේ රැස්වීමට සහභාගි වෙන්නේ නැත්තේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් නැති නිසා යැයි කියා තිබුණා. ඒක වැරදි අවබෝධයක්. ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කර ගන්න මේක ආණ්ඩුවක් හදන සංධානයක් නොවේ. මේක ආණ්ඩු විරෝධි රැළියක් විතරමයි. දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද? රට පාලනය කරන්නේ පට්ට හොරු රැළක් කියලා පෙන්වා දෙන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද? මහජන නියෝජිතයින් මරා දාන, මැතිවරණ අපේක්ෂකයින් මරා දාන වෘත්තීය සමිති නායකයින්ට පහර දෙන, විපක්ෂයේ පක්ෂ කාර්යාල පොලිසියේ සහයෝගයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගන්න, වෙඩි තබා මිනිසුන් මරණ භීෂණයක් වපුරන ආණ්ඩුවට විරෝධය පල කරන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද?”
