
නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනපතිගේ අවධානය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පවත්වා තිබෙනවා.
නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස් රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමුවී තිබෙනවා.
තවද කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ජානාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.