පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තේරීමේ දී අදත් උණුසුම් වේ (VIDEO)

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තේරීමේ දී අදත් උණුසුම් වේ (VIDEO)

ගාල්ල මහ නගර සභාවේ අද පැවති මංගල සභා සැසිවාරයේදී නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරීපත්වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්ධු මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව තුළ විරෝධතාව පළ කළා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද උදෑසන සිදු කෙරනු අතර සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය පැවති අවස්ථාවේදී ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම අද පෙරවරුවේත් සිදුකෙරුණා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද උදෑසන සිදු කෙරුණා.

එම සභාවට තේරී පත්වී සිටින සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ රැඳී සිටියේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට අයත් මතුගම ප්‍රදේශයේ නිවසකයි.

තම ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එකම ස්ථානයක රැඳී සිට ඇති බවටයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අද පෙරවරුවේ බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා.

එහිදී සභාපතිධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් සහ ස්වාධීන කණ්ඩායමේ සභිකයකුගේ නමක් යෝජනා වූ අතර සභාපතිවරයා තෝරාගැනීම සඳහා පවත්වන්නේ විවෘත ඡන්දයක් ද ,රහස් ද යන්න තීරණය කිරීමේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ජන්දයක් පැවති අතර එහිදී මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකියාව ලැබුණා.

ඒ අනුව සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්කළ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයා වූ කසුන් මුණසිංහ මහතා මතුගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා.

වලපනේ ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන වලපනේ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්වුණා.

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උස්ගොඩ ආරච්චිගේ ධම්මික නලීන් දේශප්‍රිය මහතා විවෘත ඡන්ද 34 කින් තේරී පත් වු අතර,ඒ සදහා තරග කල සමගි ජන බලවේගයේ ලක්ෂාන් රන්දික මහතා ඡන්ද 29ක් ලබා ගත්තා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ද අද සිදු කෙරුණා.

එහිදී නාගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ධර්මසිරි ගනේවත්ත මහතායි වැඩි ඡන්දයෙන් තේරී පත්වුණේ.

ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව වෙනුවෙන් අභිනව සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පෙරවරුවේ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභා ශාලාවේදී උතුරු පළාත් පාලන කොමසාරිස් දේවානන්දිනී බාබුගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම අවස්ථාවේදී, ඉලංගෙයි තමිල් අරසු පක්ෂ සාමාජික සංකරපිල්ලේ සත්‍යවරාතන් මහතා ඒකමතිකව සභාපති ලෙස තේරී පත් ව තිබෙනවා.

මේ අතර මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ද අද පැවැත්වුණා.

එහිදී සභාපතිධුරය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයින් දෙදෙනෙක් යෝජනා වූ අතර සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධව මන්ත්‍රිවරුන්ට මරණ තර්ජන ඇති බැවින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් එහිදී රහස් ඡන්දයක් යෝජනා කළා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය ප්‍රමුඛ අනෙකුත් පක්ෂ ඊට විරෝධය පළ කිරීමත් සමඟ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

ඉන් අනතුරුව පැවති රහස් ඡන්දයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ කේ.කේ සුගත් ලසන්ත මහතා මහඔය ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස තේරීපත් වුණා.

මේ අතර හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ලයනල් ගුණරත්න මහතා තේරී පත් වුණා.

මේ අතර කිසිඳු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වූ සභා 178 ක් අතරින් සභා 68ක බලය මේ වනවිට ජාතික ජන බලවේගය විසින් හිමි කර ගෙන තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගය සභා 32ක බලය තහවුරු කර ගෙන ඇති අතර තවත් ආයතන කිහිපයක බලය වෙනත් පක්ෂ සහ කණ්ඩායම් සතුයි.

පසුගිය 20 වනදා පැවති ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා පවත්වන්නේ කුමන ඡන්දයකින් ද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අතරතුරදී බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදුකිරීමට තීරණය කිරීමත් සමඟ එම සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී සමගි ජනබලවේගයේ සභිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවීමටයි පියවර ගැනුණේ.

ඝණ පූර්ණය සහිතව පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 19ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත්වුණා.

එහිදී නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රියන්ත සහබන්ධු මහතායි තේරී පත්වුණේ.

මේ අතර ගාල්ල මහ නගර සභාවේ මංගල සභා සැසිවාරය අද පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු බැනර් ප්‍රදර්ශනය කරමින් විරුද්ධතාවක නිරත වුණා.

මේ අතර පළාත් පාලන ආයතනවල පක්ෂ මාරු කරන්නන් හෝ පක්ෂ විනය කඩ කරන්නන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු හෝ පියවරක් ගත නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

 

Share This