ප්‍රංශයේ පිහි ප්‍රහාරයකින් අට දෙනෙකුට තුවාල

ප්‍රංශයේ පිහි ප්‍රහාරයකින් අට දෙනෙකුට තුවාල

ගිනිකොනදිග ප්‍රංශයේ ඇනෙසි ප්‍රදේශයේ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර ළමුන් ද සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ

ඇනෙසි හි වැව අසල උද්‍යානයක, වයස අවුරුදු තුනක පමණ ළමයින් විනෝද වෙමින් සිටියදී, පිහියක් අතැති මිනිසෙක් හදිසියේම පැමිණ ඔවුන්ට පිහියකින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ ප්‍රහාරයෙන් පසු “ජනතාව කම්පනයට පත්ව ඇති” බවයි.

45 හැවිරිදි සිරියානු ජාතිකයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූ ළමුන් දෙදෙනා වයස අවුරුදු තුනක පමණ වන බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත්ය

සැකකරු ඒ අසලින් ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහර දී ඇති අතර පොලිසිය මැදිහත් වී පහර දුන් සැකකරුගේ පාදවලට වෙඩි තබා ඔහු යටත් කරගත් බවත් විදෙස් මාධ්‍ය පවසනවා

වයෝවෘද්ධ පුද්ගලයාද ජීවිත අවදානම් තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව වාර්තා වනවා

ප්‍රංශ ජාතික සභාවේ නීති සම්පාදකයින් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This