
පාතාලය අදත් ඇවිලෙයි – පානදුරේ වෙඩි තැබීමත් පාතාල ගැටුමක් බවට සැක (VIDEO)
පානදුර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරේ නිලංග නැමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
අද අලුයම 2.30ට පමණ පානදුර මාලමුල්ල මංඩාවෙල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 2ක් වෙඩික්කරුවන් විසින් එල්ල කර ඇති අතර එහිදී 32 හැවිරිදි හසිත දුලාජ් නැමති පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් නිවසේ ඉදිරිපස කාමරයේ ඇද අසළ සිට මෙම පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ කාමරයෙහිම තිබෙන මාළු ටැංකියක දල්වා තිබූ බල්බයක ආධාරයෙන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 29 වැනිදා මාලමුල්ල ප්‍රදේශයේ දැරියක් වැඩිවියට පැමිණීමේ උත්සවයකදී වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි හි සිටින පානදුරේ නිලංග නැමැත්තාගේ ගෝලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එම සිද්ධියට සැක පිට හසිත දුලාජ් නැමති මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පසුව ඔහු ඇප මත මුදා හැර තිබෙනවා.
පානදුරේ නිලංග නැමැත්තාගේ ගෝලයා ඝාතනය කිරීමට කුඩු සළිඳුට තොරතුරු ලබා දීම හේතුවෙන් හසිත දූලාජ් නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉකුත් වෙසක් පොහෝ දින විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නිලංග නැමැත්තා විසින් අද සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලද පුද්ගලයා වෙත මැසෙන්ජර් තාක්ෂණය හරහා ඇමතුමක් ලබා දෙමින් දැනුම් දී ඇත්තේ පොහොය 5ක් තුළ ඔහුව ඝාතනය කරන බවයි.
මෙම වෙඩි තැබීම අලුබෝමුල්ලේ සළිඳු හෙවත් කුඩු සළිදු නැමැත්තා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරේ නිලංග නැමැත්තා අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුකර ඇති බවටයි වාර්තා වුණේ.
ඒ අනුව අද අලුයම සිදු වූ මෙම වෙඩි තැබීම මේ වන විට ඩුබායි හි සැගවී සිටින පානදුර නිලංග නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවටයි අනාවරණ වන්නේ.
අද අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පානදුර පොලිස් කොට්ඨාසය තුළ පමණක් ගෙවුණු මාස දෙකහමාර තුළ පානදුර දකුණ සහ හිරණ පොලිස් වසම්වල වෙඩි තැබීම් 5ක් සිදුවී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව පසුගිය ජනවාරි 1 වැනිදා සිට අද දිනය දක්වා වෙඩි තැබීම් 66 ක් සිදුව ඇති අතර එහිදී 37 දෙනෙකු මියගොස් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් අතර 48ක් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
මේ අතර පසුගිය ජුලි මස 9 වැනිදා හෝමාගම විකල්ප මාර්ගයේ පුද්ගලයෙකු ඝාතනය කර මාර්ගය අයිනේ දමා ගිය සිද්ධියට අදාළ මෝටර් රථය කෑගල්ල කරඩුපන ප්‍රදේශයේ හෝටලයක මිඳුලේ දමා ගොස් තිබියදී ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
ඝාතනයට ලක්වූ පලනි සිරාම් නමැත්තා සමඟම ඝාතකයින්ද මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇති තැනැත්තා පූකඩු කන්නා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු බවත් 2022 වසරේදී පුද්ගලයෙකුට වසදීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බවට සැකකරන බවත් පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් ඊයේ මේ පිළිබඳ විමර්ශන සිදුකළ නුගේගොඩ අපරාධ විමර්ශන කාර්ය්යාංශය එම මෝටර් රථය කෑගල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් අතර ඒ අනුව අද කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පොලිස් නිල සුනඛ අංශයේ සහය ඇතිව විමර්ශන ආරම්භ කළා.
මේ අතර අනුරාධපුර ගල්කුලම ප්‍රදේශයේ පසුගිය ජුනි 25 වැනි දින යම් නාදුනන පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර ප්‍රදේශයේ පදිංචි රහීම් තුවාන් නැමති වයස 36ක පුද්ගලයෙක්.
රැඳවුම් නියෝග මත මූලික පරීක්ෂණ පවත්වා ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපරිත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවට යොමු කිරීමට නියම කර තිබෙනවා.
එමෙන්ම ගාල්ල , ගිංතොට ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිටදී අද පෙරවරුවේ සිදුවූ පිහි ඇණුමකින් 38 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
මත්කුඩු පැකට්ටුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණ වන බවයි පොලිසිය පැවසුවේ.