පාර්ලිමේන්තුවේ  ආහාර සෞඛ්‍යාරක්ෂිත කරන්න කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාර සෞඛ්‍යාරක්ෂිත කරන්න කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාර පානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ලේකම් කා‍ර්යාලය පැවසුවේ කතානායකවරයා ගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායකවරයා ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වූ බවයී.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරුණා.

ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික මහතා පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

Share This