පාරිභෝගික අධිකාරිය පනත ගැන ගත් තීරණය

පාරිභෝගික අධිකාරිය පනත ගැන ගත් තීරණය

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනම් කරන ලෙස කෝප් කමිටුව විසින් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා.

පාරිභෝගික ‍කටයුතු පිළිබඳ අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා රේගුව හා සම්බන්ධ වෙමින් මහා පරිමාණ තොග ව්‍යාපාර වැටලීම් සිදුකිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමුවූ අවස්ථාවේදී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ වත්මන් පනත අනුව වැටලීම් කිරීමට බලය ඇත්තේ සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් පමණක් බවත්, තොග හෝ නිෂ්පාදකයාගේ ගබඩා පරීක්ෂා කර නෛතික පියවර ගැනීමට බලයක් නොමැති බවත්ය.

මේ අනුව අදාළ අංශ අනාවරණය වන ලෙස පනත සංශෝධනය කිරීම සිදුවන අතර මේ වන විට එය අවසන් අදියරේ පවතින බව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

මෙහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේ 2004 වසරේ ආරම්භ කළ පනත සංශෝධනය කිරීම වසර 19ක් පමා වී ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් නිමා කරන ලෙසයි.

Share This