පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ ඉන්දියාවේ වැඩසටහන සාර්ථකව නිමා කරමින් භික්ෂූන් වහන්සේලා නැවතත් ලංකාවට
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ ඉන්දියාවේ වැඩසටහන සාර්ථකව නිමා කරමින් ඊට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා නැවතත් ලංකාවට පැමිණ තිබෙනවා.
බෞද්ධ දර්ශනයේ ප්‍රගතිශීලී ගමන්මඟ ශක්තිමත් කිරීම උදෙසා ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟපෙන්වීම යටතේ 2022 වර්ශයේ බුද්ධගයාවේදී පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වුණා.
ඒ, මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින්.
මෙම වැඩසටහනේ තෙවන අදියර 2024 දෙසැම්බර් 21 දින ඉන්දියාවේ දී ආරම්භ වූ අතර එම වැඩසටහන සඳහා ශ්‍රීලංකාව, ඉන්දියාව, ටිබෙටය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, භූතානය යන රටවලින් භික්ෂූන් වහන්සේලා සහභාගී වුණා.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික භික්ෂූන්වහන්සේලා එකොලොස් නමක් සහභාගී වූ බව සඳහන්.
මෙම වැඩසටහන බුද්ධත්වයේ දේශය වන බුද්ධගයාවේ දින 10 ක වන්දනාවකි ආරම්භ වූ අතර ගන්ඩෙන්, ඩ්‍රෙපුන්, සේරා යන බෞද්ධ අධ්‍යාපනික ආරාමික විශ්වවිද්‍යාලයන්වල ජනවාරි 19 දක්වා දකුණු ඉන්දියාවේ අඛණ්ඩව පැවතුණා.
මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ජනවාරි 20 වන දින ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ හමු වී උන් වහන්සේගේ ආශිර්වාදය ලබගත් භික්ෂූන්වහන්සේලා අද දින නැවතත් ලංකාවට පැමිණියා.
එම භික්ෂූන් වහන්සේලා නැවතත් සුරක්ෂිතව ලංකාවට රැගෙන ඒම සඳහා බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ සභාපති, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ඊයේ රාත්‍රියේ ඉන්දියාව බලා පිටත් වුණා.
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන සාර්ථකව නිමා කරමින් ලංකාවට පැමිණි ත්‍රෛනිකායික භික්ෂූන්වහන්සේලා පිළිගැනීම සඳහා පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරී ආචාර්ය ශර්මිලා මිල් රෝයි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී උණුසුම් පිලිගැනීමක් සිදුකරනු ලැබුවා.
මෙම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ වැඩසටහන වෙනුවෙන් පාලි හා සංස්කෘත සම්ප්‍රදායයන් නියෝජනය කරමින් විදෙස් භික්ෂූන් වහන්සේලා තිස්පස් දෙනෙකු පෙබරවාරි මස 01 දින සිට දින 15ක කාලයක් ලංකාවට පැමිණීමට නියමිත අතර ඉන්පසුව උන්වහන්සේලා තායිලන්තයේ වැඩසටහන සඳහා පෙබරවාරි 16 වනදා සිට සම්බන්ධ වීමට නියමිතයි.
0-