පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, පාසල් 8,943ක අධ්‍යාපනය ලබන මිලියන 1.4ක ශිෂ්‍ය ප්‍රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ හිමි වෙන අතර පාසල ආරම්භ වී පළමු පැය තුළ එනම්, උදෑසන 7.30ත් 8.30ත් අතර ආහාර ලබා දීම සිදු කරන අතර එක් සිසුවකුගේ දෛනික ආහාර වේලක් වෙනුවෙන් රු. 110/-ක මුදලක් වෙන් තිබෙනවා.

2006 වර්ෂයේ සිට ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම පාසල් පෝෂණ වැඩසටහන නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමේ අභිමතාර්ථයෙන් පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම මෙන්ම දේශීය ආහාර සංස්කෘතියක් ගොඩනැගීම මගින් රටට වැඩදායී පුද්ගලයකු බිහි කිරීම යන අරමුණු පෙරදැරිව වාර්ෂිකව ක්‍රියාවට නංවන බවයි එම අමාත්යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ සඳහා පාසල් තෝරාගැනීමේ නිර්ණායක කිහිපයක් සලකා බැ‍ලෙන අතර, ඒ අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්, විශේෂ අධ්‍යාපන ඒකකවල හෝ විශේෂ අධ්‍යාපන පාසල්වල සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසු සිසුවියන් මෙන් ම අවශ්‍යතාව මත පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ද ඇතුළු නිර්ණායකයන් 06ක් මෙම වැඩසටහනට අයත් වෙයි.

Share This