පාස්කු ප්‍රහාරයේ දී රාජකාරි පැහැර හැරීමේ වරදට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේව‍යෙන් පහ කරයි

පාස්කු ප්‍රහාරයේ දී රාජකාරි පැහැර හැරීමේ වරදට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේව‍යෙන් පහ කරයි

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පසුගියදා(17) පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම නිවේදනය කළේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටයදී, 2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්භන්ධයෙන් ඔහු විසින් සිදුකළ රාජකාරි පැහැර හැරීමට අදාලව සිදුකළ පරීක්ෂණවලින් පසුව මෙම තීරණයට එළඹැති බවයි.

මෙම පරීක්ෂණ සිදුවන තෙක් ඔහු අනිවා‍ර්ය නිවාඩු ගන්වා සිටියා.

2023 ඔක්තෝබර් 26 දින රැස්ව වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි නිලධාරියා වෙත අංක NPC/EST/DISC/ASP/1/2023 හා 2023 නොවැම්බර් මස 17 දිනැති චෝදනා පත්‍රය නිකුත් කර තිබුණේ පරීක්ෂණවලට අදාලවයි.

උක්ත චෝදනා පත්‍රයට අදාලව නිලධරියා විසින් 2024 මාර්තු මස 12 වන දින යොමු කරන ලද ලිපියෙහි අන්තර්ගත කරුණු සලකා බලන ලද 2024 මාර්තු 21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීමට‍ තීරණය කළා.

එසේ සිදුකරන ලද විධිමත් විනය පරීක්ෂණයේ ත්‍රි පුද්ගල විනිශ්චය සභාව මේ වසරේ ජූලි 04 වැනි දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විධිමත් විනය පරීක්ෂණ වාර්තාව, එම වාර්තාව සමග යොමුකර තිබූ පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරිගේ වාර්තාව, රැකවරණ නිලධාරිගේ වාර්තාව සහ අදාල සියලු ලේඛන ගැඹුරින් අධ්‍යනය කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කර තිබෙනවා.

විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනා සදහා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බව තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබුණේ ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සදහන් රාජ්‍ය නිලධරයන් සිදු කල හැකි වරදවල් සම්බන්ධව පළමුවන උපලේඛණය යටතට ගැනෙන වැරදි බවටයි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවන් සදහා වැරදිකරු බව මේ මස 17 වන දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කළා.

 

Share This