පැරාලිම්පික් ශූරිය Hollie Arnold නැවතත් පිටියට

පැරාලිම්පික් ශූරිය Hollie Arnold නැවතත් පිටියට

වසර කිහිපයකට පසු හිටපු පැරාලිම්පික් හෙල්ල විසි කිරීමේ ශූර හොලී ආර්නෝල්ඩ්, නැවතත් තම ක්‍රීඩාවට ආදරය කරන බව පවසනවා.

29 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩිකාව ධාවන පථයේ සහ ඉන් පිටත අභියෝගවලට මුහුණ දී ඇති නමුත් මෙවර පැරිසියේ පැරාලිම්පික් ශූරතාව නැවත ලබා ගැනීම ඉලක්ක කරගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2020 දී ඇය තම F46 කාණ්ඩයේ ලෝක හා යුරෝපීය ශූරිය සහ ලෝක වාර්තා දරන්නා වූ අතර වසර කිහිපය පුරාවටම 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී ඇය දිනාගත් කිරුළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා.

නමුත් කෝවිඩ් වසංගතය නිසා ටෝකියෝ ක්‍රීඩා උළෙල වසරකට කල් දැමූ අතර එම තත්ත්වය ආර්නෝල්ඩ්ගේ මානසික යහපැවැත්මට විශාල බලපෑමක් ඇති කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ සියල්ල මධ්‍යයේ, ආර්නෝල්ඩ් ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට ගොස් තම ශූරතාවය ආරක්ෂා කර ගැනීමට ගිය අතර, තරගයේ අවසන් වටයට පිවිසීමෙන් පසුව, ප්‍රතිවාදීන් වන නවසීලන්තයේ හොලි රොබින්සන් සහ නෙදර්ලන්තයේ නොයෙල් රූර්ඩා ඇයව අභිබවා ගියා.

එහිදී ඇයට හිමි කරගැනීමට හැකිවුණේ ලෝකඩ පදක්කමයි.

එමෙන්ම පසුගිය වසරේ ප්‍රංශ අගනුවර පැවැත්වූ ”Worlds” තරගයට ඉදිරිපත් වී පස්වන ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඇයගේ පවුලේ ප්‍රශ්න හා සියලුම මානසික බිඳවැටීම් මධ්‍යයේ හොලී ආර්නෝල්ඩ් මෙවර පැරාලිම්පික් තරග සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This