පිළිකාවලට එරෙහිව සටන් කළ හැකි වෛරසයක්

පිළිකාවලට එරෙහිව සටන් කළ හැකි වෛරසයක්

මිනිස් DNA තුළ වසර මිලියන ගණනක් සැඟවී ඇති පුරාණ වෛරස් අංශු පිළිකාවට එරෙහිව සටන් කිරීමට උපකාරී වන බව විද්‍යාඥයින් පවසනවා.

ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනය විසින් කරන ලද අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ පිළිකා සෛල පාලනයෙන් තොර වූ විට මෙම පැරණි වෛරස්වල නිද්‍රාශීලී අවශේෂ අවදි වන බවයි.

මෙම ක්‍රියාවලිය මගින් නොදැනුවත්වම ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකාව ඉලක්ක කර පහර දීමට උපකාරී වන බවයි පර්යේෂක කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ.

වෛරස භාවිතයෙන් පිළිකා ප්‍රතිකාර වැඩි දියුණු කළ හැකි හෝ එය වැළැක්විය හැකි එන්නත් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් මේ වන විට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙනහළු පිළිකාවේදී B-සෛල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක් වන අතර, B සෛල පිළිකාව වටා පොකුරු ගැසී සිටීම අතර සම්බන්ධයක් පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

B-සෛල යනු ප්‍රතිදේහ නිපදවන අපගේ ශරීරයේ කොටස වන අතර Covid වැනි ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ කාර්යභාරය සඳහා වඩාත් ප්‍රසිද්ධය.

පෙනහළු පිළිකාවේදී B සෛලවල කාර්යය අභිරහසක් වූ නමුත් රෝගීන්ගේ සාම්පල සහ සත්ව පරීක්ෂණ භාවිතා කරමින් සංකීර්ණ අත්හදා බැලීම් මාලාවක් පෙන්නුම්කර ඇත්තේ ඔවුන් පිළිකාවලට එරෙහිව සටන් කිරීමට උත්සාහ කරන බවයි.

ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ සහකාර පර්යේෂණ අධ්‍යක්ෂ මහාචාර්ය ජුලියන් ඩවුන්වර්ඩ් පවසන්නේ ප්‍රතිදේහ මගින් රෙට්‍රො වයිරසයට ආවේණික අවශේෂ කොටස් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙම පිළිකාවලට එරෙහිව සටන් කළ හැකි වෛරස සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර නුදුරේදීම එන්නත්වල ප්‍රගතිය පිළිබඳව තොරතුරු දැනුම්දෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This