පුද්ගලයකු අත් අඩංගුවට ගන්න ගිය පොලීසියට අකරතැබ්බයක් සහ බියනයකට වැඩි කුෂ් වැටලීම (VIDEO)

පුද්ගලයකු අත් අඩංගුවට ගන්න ගිය පොලීසියට අකරතැබ්බයක් සහ බියනයකට වැඩි කුෂ් වැටලීම (VIDEO)

ආරක්‍ෂක අංශයෙන් පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමක් අතරතුර සිදු වූ නොසන්සුන්තාවක් පිළිබඳ පුවතක් මිහින්තලය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එම නොසන්සුන්තාවට හේතුව පොලිසියට සිදු වූ අතපසුවීමක් වන අතර, ඉන් කිසිවෙකුට යම් අසාධාරණයක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවයි.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුකළ මෙහෙයුමකදී ඇති වූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබුණා.

එහි දැක්වුණේ නිවෙස් හිමියන් පොලිසියට බැන වදින ආකාරයයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණ වූයේ මෙම සිදුවීම මිහින්තලේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූවක් බවයි.

හමුදා සේවයෙන් පලා ගොස් ඇති අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊට පොලිසිය මෙන්ම යුද හමුදාවද සහභාගී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයාගේ නිවස වෙනුවට පොලිසිය වෙනත් පුද්ගලයෙකුගේ නිවසකට ගොස් නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම නොසන්සුන් තත්ත්වය ඇති වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ දෙදෙනාටම එකම නමක් තිබීම හේතුවෙන් මෙම අතපසුවීම සිදුව ඇති බවයි.

සිය නිවසේ දොර ජනෙල්වලටද පොලිසිය හානි සිදුකර ඇති බවට මෙහිදී නිවැසියන් චෝදනා කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවැසුවේ මෙම අතපසුවීමෙන් කිසිවෙකුට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හැකි බවයි.

මේ අතර පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොතටුව පොලිස් වසමට අයත් මානිගමුල්ල හා කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදීයී මෙම වැටලීම් සිදුකර ඇත්තේ.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියනකට ආසන්නයි.

මේ අතර, මෙරටදී එකලස් කළ තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් හදුනාගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

රිය අනතුරකින් පසුව මෙම රථය හදුනාගැනීමට හැකිවීමද විශේෂත්වයක්.

පසුව පොලිසිය ඒ පිළිබඳ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම රථෙය් සියළු තොරතුරු අසත්‍ය ඒවා බවයි.


 

 

Share This