
පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සිදුකළ මෙහෙයුමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබුවා.
මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ තම පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස, තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් වී ඇති බවයි.
තම පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන්ට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව පවසනවා.
එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ එකක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාළ පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබුණා.
