
පොලිස් නිලධාරීන්ට මහ මඟ තග දැමූ කාන්තාවට ඇප නෑ
ගම්පහ පොලිසියේ රථවාන අංශයේ නිලධාරීන් ඊයේ (31) උඩුගම්පොළ ප්‍රදේශයේ රාජකාරීයේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් ලුහුබැඳ ගොස් නතර කළ අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ මෝටර් රථය පදවාගෙන පැමිණි කාන්තාව අද (01) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මාර්ගය මැද තනි සුදු ඉර කපා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන අතරතුර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් නවත්වන ලෙසට සංඥා කළ ද එම අන නොතකා ඉදිරියට ධාවනය කෙරුණු මෝටර් රථය පසුපස හඹා ගොස් කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණා.
කාන්තාව එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නැගනියක බව කියමින් පොලිස් නිලධාරීන්ට බලපෑම් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන සමාජ මාධ්‍යය තුළ සංසරණය වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම කාන්තාව එවැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නැගනියක යනුවෙන් පැවසීම සාවද්‍ය බවයි.
