පෞද්ගලික අංශයට ලබා දුන් රජයේ වතුවල, ක්‍රියාකාරිත්වය ගැන ගැටළුවක්

පෞද්ගලික අංශයට ලබා දුන් රජයේ වතුවල, ක්‍රියාකාරිත්වය ගැන ගැටළුවක්

මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

රජය විසින් පවරාදීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ වතු සමාගම් අද වන විට තේ, රබර් ආදී භෝග වගාවන්ට වඩා වෙනත් කර්මාන්ත කෙරෙහි උනන්දු වන බවත්, ඔවුන් වතු නිසි ලෙස ඒවා නඩත්තු නොකරන බවත්, උපදේශක කාරක සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරු විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා.

එසේම සේවකයන්ගේ සුබසාධන පහසුකම් පිළිබද අදාළ සමාගම් ‍උනන්දු නොවන බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

එවැනි වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සදහා රජය සතු නිසි යාන්ත්‍රණයක් නොමැති වීම ගැටලුවක් බව ද අදාළ උපදේශක කාරක සභාවේදී අවදානයට ලක්ව තිබෙනවා.

මෙම විශාල වතු සමාගම්, කම්කරුවන්ට ඉතා සුළු වැටුපක් ගෙවන බවත් ඇතැම් වතුවල මූලික පහසුකම් පවා ලබා නොදෙන බවත් අනවරණය වූ බවයි වාර්තා වන්නේ.

ඉතා දුර්වල බදු ගිවිසුම් යටතේ මෙම වතු පෞද්ගලික අංශයට පවරා දී ඇති බැවින් මෙම වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම අපහසුවී ඇති බව එහිදී වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් ගැටලු විසදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Share This