බංගලාදේශ අගමැතිනිය ඉන්දියාවේ සංචාරයක

බංගලාදේශ අගමැතිනිය ඉන්දියාවේ සංචාරයක

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අද (5) සිව්දින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණෙන අතර එහිදී ඇය ජනාධිපතිනි දෞපදී මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු නායකයන් රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, අසල්වැසියෙකු ලෙස සිය රටට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිය පළ කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඒ එන් අයි පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ සෑම අසීරු අවස්ථාවකදීම ඉන්දියාව අසල්වැසියෙකු සේ සිටිමින් ආගන්තුක සත්කාර දැක්වූ බවයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්ය භාරය කැපී පෙනන බවත්, බංග්ලාදේශය වෙනුවෙන් තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ප්‍රකාශ කළා.

එමෙන්ම යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපය තුළ සිරව සිටි බංග්ලාදේශ සිසුන් මුදා ගැනීමේදී ද බංග්ලාදේශයට සහය දැක්වූයේ ඉන්දියාව බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේන අර්බුදය හමුවේ පෝලන්තයට පැමිණ සිටි ඉන්දීය සිසුන් මුදා ගැනීමේදී ඉන්දියාව පෙනී සිටියේ සිය රටේ සිසුන් වෙනුවෙන් පමණක් නොව බංග්ලාදේශ සිසුන් ද මුදාගත්තේ ද ඉන්දියාව බව අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කර තිබුණා.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වී තිබියදී හුදෙක් බංග්ලාදේශයට පමණක් නොව අසල්වැසි අනෙකුත් රටවලට ද Vaccine Maitri වැඩසටහන යටතේ එන්නත් ලබාදීමේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රජය වැදගත් කාර්යය භාරයක් ඉටු කළ බව ද බංල්ගාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සදහන් කළා.

ඉන්දියාව යනු සෑම අසීරු අවස්ථාවකදීම අතනොහැරි මිතුරෙකු බවත් 1971 වසරේ සිට ඉන්දියාව, බංග්ලාදේශයේ සමීපතම අසල්වැසියා ලෙස රැදී සිටි බවත් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා අවධාරණය කළා.

දෙරටේ ජනතාවගේ යහපත උදෙසා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවයි බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත්තේ.

 

Share This