
බන්ධනාගාර රැදවියන්ගේ – නිලධාරීන් ගේ සෞඛ්‍ය බලන්න ඇමතිගෙන් වැඩසටහනක්
මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර තුළ බෝනොවන රෝග වැඩිවීමට ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම වැනි හේතුන් නිසා ඇතිවන ගැටළු හේතුවෙන් නිරාවරණය වන මානසික ආතතීන් හා පීඩනකාරී පරිසර තත්ත්වයන් ද හේතු වන බවයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඊයේ(12) සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
උත්සවය වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර, වැඩසටහන ඊයේ සිට සිට 16 වැනිදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.
බන්ධනාගාර රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවට එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.
බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවත්, බන්ධනාගාර රෝහල්වල කාන්තා වාට්ටු වල පවතින ගැටළු නිරාකරණයට කඩිනමින් කටයුතු කරන බවට ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පොරොන්දු ලබා දුන්නා.
අගෝස්තු මස 10 වනදාට යෙදුන “සිරකරුවන්ගේ යුක්තියේ” දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ බන්ධනාගාර නිලධාරීන් 6000 කට ආසන්න පිරිසක් සේවය කරනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මෙරට ස්ථාපිත බන්ධනාගාර 36 තුල රඳවා සිටින රැදවියන් 33,500 ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගෙන යාම අරමුුණු කර ගනිමින්.