
බලංගොඩ කස්සප හිමිට දෙසැම්බර් 10 ට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ නියෝගයක්
ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යාමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළා.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා අද (24) එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්. ජි. එස්. කේ. සමරසිංහ අධිකරණයට බී වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යාමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.
එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශනවලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙසත් පොලිසීය ඉල්ලා සිටියා.
උන්වහන්සේ දැනට වැඩ වාසය කරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි නිසා වැඩ වාසය කරන ස්ථානය සොයා ගැනීමටත් ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කර ගැනීම සඳහාත් උන්වහන්සේ භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලිමක් කළා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා හිමිනමට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කිරීමට අමතරව හිමි නම භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් ද නිකුත් කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා වරාය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේ විමර්ශනවලට අදාලව ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
