බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර

ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව අදාළ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ​ පැවැත්වුණා

මෙම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මකයි

ඒ අනුව මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාළඹේ, අතුරුගිරිය, කටුනායක යන නගර සහ උපනගර කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ සැලසුම් වාර්තා මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රීක්කයේ දෙවට ප්‍රදේශය සඳහා ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර ඉදිකිරීම් මට්ටමේ පවතින අනුරාධපුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සියයට හතළිහක් පමණ අවසන් වී ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා.

මේ අනුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසු විධිමත් සැලසුමකට අනුව මෙහි ඉදිකිරීම් අරඹන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

කොළඹ නගරය ආශ්‍රිතව දිගු කලක් පවත්වාගෙන යන රජයේ කාර්යාල කොළඹින් පිටතට විතැන් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය (CTB) ජාතික ප්‍රවාහන කොමිසම (NTC) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) ඇතුළු ආයතනවල මනා ඒකාබද්ධ සම්බන්ධීකරණ ක්‍රියාවලියක් තුළ මෙම ඉදිකිරීම් සිදුකළ යුතු බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එකඟතා ඇති කර ගත් සාධනීය කරුණු පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්, වඩාත් සංවිධාන ශක්තියක් ඇති කර ගෙන සැලසුම් කළ දින වකවානුවලට නිම කිරීමට, ක්‍රියා කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා

Share This