බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සංවර්ධන කටයුතු ඇරඹේ (VEDIO)

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සංවර්ධන කටයුතු ඇරඹේ (VEDIO)

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අපනයන ආර්ථික, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවයි.

එමෙන්ම ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව අමෙරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්තමේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000ක් බිහිකිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දැනට ඉදිකර තිබෙන ඩොංශියා ඉන්ඩස්‌ට්‍රියල් ලංකා ආයතනය විවෘත කිරීමද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවූ අතර එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් එහි සේවක මණ්ඩලය සමඟ සුහද කතා බහකද නිරත වී තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් අතර සාකච්ඡාවක්ද පැවති බව සඳහන්.

මෙම අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමත් සමඟ බිංගිරිය, දුම්මලසූරිය, මාදම්පේ ප්‍රදේශ මහනගර මට්ටමට සංවර්ධන කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ සංචාරක මෙන්ම ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර 05 දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share This