බිරින්දෑවරු දෙදෙනා සමඟ දිවි ගෙවීමට “ගිවිසුමකට” එළඹි ඉන්දීය ඉංජිනේරුවා

බිරින්දෑවරු දෙදෙනා සමඟ දිවි ගෙවීමට “ගිවිසුමකට” එළඹි ඉන්දීය ඉංජිනේරුවා

කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වූ ඉන්දියාවේ ඉංජිනේරුවෙකු ඔවුන් සමග ජීවත් වීමට දින බෙදා ගනිමින් “ගිවිසුමකට” එළඹ තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයා පළමු බිරිඳ සහ අනෙක් කාන්තාව සමඟ සතියකට දින තුනක් බැගින් බෙදා වෙන් කර වෙනම නිවාස දෙකක සාමකාමීව ජීවත් වීමට තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ගිවිසුමට අනුව හත්වන දිනය ගත කිරීමට ඔහුට තමා කැමති කාන්තාව තෝරා ගැනීමට ද නිදහස පවතිනවා.

ඔහුගේ පළමු විවාහය 2018 දී ග්වාලියර් හි කාන්තාවක් සමග සිදු වූ අතර ඔවුන් වසර දෙකක් පමණ එකට ජීවත් වී ඇති අතර කොවිඩ් කාල වකවානුවේ ඔහු තම බිරිඳ ඇගේ දෙමාපියන්ගේ නිවස වෙත යවා තිබෙනවා.

නීත්‍යානුකූලව විවාහ වූ බිරිඳ රැගෙන යාමට ඔහු 2020 වන තෙක් ආපසු පැමිණ නොමැති අතර ඒ හේතුවෙන් ඇය, ඔහු සේවය කරන ඉන්දියාවේ ගුරුග්‍රාම් ප්‍රදේශයේ කාර්යාලයට ගොස් තිබෙනවා.

එහිදී ඇයට අනාවරණ වී ඇත්තේ සිය ස්වාමියා වෙනත් කාන්තාවක් සමග විවාහ වී ඇති අතර එම කාලය තුළ ඔවුන්ට ගැහැණු ළමයෙකු ද උපත ලබා ඇති බවයි.

අදාළ විවාහය සම්බන්ධයෙන් පළමු බිරිඳ ඔහු සමග ආරවුල් ඇති කර ගෙන ඇති අතර ඔහුගේ කාර්යාලය තුළ විරෝධතාවයේ ද නිරත වී තිබෙනවා.

පසුව ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ග්වාලියර්හි පවුල් අධිකරණයක් වෙත ගිය අතර එහිදී එම පුද්ගලයා දෙවන කාන්තාව හැර යාම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්

අනතුරුවයි ඔවුන් අදාළ ගිවිසුමට එළඹ ඇත්තේ.

ඔහු සිය බිරිඳට මෙන්ම ගුරුග්‍රම් හි අනෙක් කාන්තාවට ද මහල් නිවාසයක් ලබා දී ඇති අතර ඔවුන්ගේ එකඟතාවයට අනුව ඔහුගේ වැටුපෙන් සමානව බෙදා ගැනීමට එකඟතාව පළ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.

හින්දු නීතියට අනුව මෙම ගිවිසුම නීති විරෝධී වන අතර හින්දු පුරුෂයෙකුට තම පළමු බිරිඳ නීත්‍යානුකූලව දික්කසාද වන තුරු වෙනත් කාන්තාවක් සමග විවාහ විය නොහැකි බව සඳහන්.

කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම නිශ්චිතවම ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම සමග ඉදිරියට යාමට තීරණය කළ බවයි

Share This