බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල දී කඩා වැටීමෙන් ගුවන් නියමු  විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට

බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල දී කඩා වැටීමෙන් ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල ප්‍රදේශයයේදී හදිසි ගොඩබෑම පිළිබඳව ගුවන් හමුදාව පැහැදිළි කිරීමක් කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ මෙහෙයුම් වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් ඊයෙ සවස (30) ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමක් සිදු කළා.

ගුවන් හමුදාව පවසන්නේ මෙම සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මෙම යානය තුල සිටි බවයි.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, මෙම අනතුරට මුහුණ දුන් යානය තුල සිටි ගුවන් හමුදා සාමාජිකයින් සියලුදෙනා කඩිනමින් මුදාගෙන ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට යොමුකළා.

රෝහල් වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නිළධාරියාගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඔහු අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

ඉතා පළපුරුදු දක්ෂ හෙලිකොප්ටර් නියමුවෙකු වූ ඔහු තම සේවා කාලය තුල ගුවන් පැය 3000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබුණා.

සහය නියමුවා සහ යානයේ සිටි අනිත් තිදෙනා සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇති අතර දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි, විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

Share This