බෝනොවන රෝග පිළිබද ජාතික සභාව රැස් වේ

බෝනොවන රෝග පිළිබද ජාතික සභාව රැස් වේ

මෙරට පිළිකා රෝග පාලනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන්ගේ විශේෂ ඇගයීමෙන් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව එළිදක්වී තිබෙනවා.

මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස් වුණා.

බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක්.

මෙරට පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.

මෙම ජාතික සභාවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා ජනනමාධ්‍ය අමාත්‍යවරයා විසින් දරණු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තුමේන්තු සහ ආයතනවල නම්කල නිලධාරීන් මෙහි සාමාජිකත්වය දරණු ලබනවා.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බවයි.

වර්තමානය වන විට බෝනොවන රෝග එයට යම් අභියෝගයක් බව ද ඔහු පැවසුවා.

එය පාලනය කිරීම සදහා රජය සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග දැඩි පරිශ්‍රමයක් ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම බෝ නොවන රෝග පිළිබද ජාතික සභාවද එයට මනා පිටුවහලක්වන බව ද සදහන් කර සිටියා.

ඒ වෙනුවෙන්ම ආරම්භ කළ විශේෂ ව්‍යාපෘතියක්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් නිශ්චිත ජනගහනයක් ඉලක්කකර සෞඛ්‍ය සේවාවන් සපයන බවත්, එම මධ්‍යස්ථාන තුළින් මෙරට ජනතාවගේ බෝනොවන රෝග හදුනා ගැනීමට සහ පාලනයට මහත් රුකුලක්වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

බෝනොවන රෝග පාලනයට පසුගිය වසර තුළ සිදුකළ සහ මේ වන විට සිදු කෙරණ ක්‍රියාකාරකම් සහ වැඩපිළිවෙළ මෙහි දී සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කෙරුණා.

එමෙන්ම හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළුව බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් සකස් කිරීම පිළිබදවද මෙහි දී දීර්ඝව සාකච්ජාවට භාජනය වුණා.

ඉදිරියේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ හා එක්ව දියත් කළ යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් කඩිනමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබදවත් මෙහි දී විශේෂ අවධාණය යොමුව තිබෙනවා.

 

Share This