භාතියට ජීවය දෙන්න පශූ වෛද්‍යවරුන් දැඩි වෙහෙසක

භාතියට ජීවය දෙන්න පශූ වෛද්‍යවරුන් දැඩි වෙහෙසක

දැඩි ලෙස රෝගීව මහව, පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින භාතිය හස්තියාගේ තත්ත්වය පිළිබඳ අප පසුගිය දින කිහිපයේම ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

භාතියගේ තත්ත්යවය සම්බන්ධයෙන් අප අද පෙරවරුවේදී ද විශේෂ සොයා බැලීමක් සිදු කළ අතර දැඩි ලෙස දුර්වලවී සිටින හස්තියාගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවටයි එහිදී තොරතුරු වාර්තා වුණේ.

වයස අවුරුදු 30ක් පමණ වන ”භාතිය” හස්තියා වත්මන් ඇත් පරපුරේ තේජාන්විත ඇත් රජෙකු ලෙස ප්‍රකටයි.

ගල්ගමුව, අඹන්පොළ, නිකවැරටිය, මහව ආදී ප්‍රදේශ වල සැරිසැරූ වයස අවුරුදු 30ක් පමණ වන භාතිය හස්තියා එම ප්‍රදේශයේ ජනතාවගේ ආදරයට පාත්‍ර වී ඇත්තේ මෙම දැවැන්තයා සතු තේජවන්ත භාවය නිසයි.

ඉදිරි දකුණු පාදයට වෙඩි වැදී ඉදිමීමත් සමඟ දැඩි ලෙස රෝගීව මෙම හස්තියා මහව, පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින ආකාරය අප පසුගියදා රටට හෙළි කළා.

ඒ අනුව පසුගියදා සිකුරාදා දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක් රෝගීව සිටින හස්තියාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.

අදාල රුධිර පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඇතාගේ පෝෂණ තත්ත්වය වඩාත් දුර්වල තත්ත්වයක පවතින බවටයි.

ඒ අනුව භාතිය හස්තියාගේ ඉදිරි කටයුතු තීරණය කිරීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පිඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද ඊයේ එම ස්ථානය නිරීක්ෂණයකට එක්වු අතර ඔවුන්ගේ උපදෙස් පරිදි ජලය පීරී තිබු භාතිය හස්තියා රැඳී සිටි වතුර වල හිස් කිරීමට යුද හමුදා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

Share This