භාතිය ඇත් රජු, අප හැර යයි

භාතිය ඇත් රජු, අප හැර යයි

වෙඩි වැදීමකින් තුවාල ලබා සති ගණනාවක් මුලුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි ලෙස පීඩා විඳිමින් සිටි භාතිය හස්ථියා අද (15) උදෑසන ජීවිතක්ෂයට පත් වුණා.

හිස ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ එම හස්ථියාගේ ස්නායු පද්ධතියට ඇති වූ බලපෑම හස්ථියා මිය යාමට හේතුවන්නට ඇති බවටයි පශු වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

භාතිය කියලා කියන්නේ ගල්ගමුව, අඹන්පොළ ,නිකවැරටිය, මහව ආදී ප්‍රදේශ වල සැරිසැරූ උසින් අඩි 10ක් පමණ වූ තරුණ ඇත් රජෙක්.

වයස අවුරුදු 30ක් පමණ වූ මේ ඇතු , ප්‍රදේශවාසීන් වගේම අලි ඇතුන් පිළිබඳ උනන්දුවක් දක්වන කා අතරත් වඩාත් කතාබහට ලක් වුණේ ඇතුගේ පිරිපුන් සිරුරත් , තේජස් ගමනත් , සමාන්තරව පිහිටි අලංකාර දළ යුවලත් නිසායි.

භාතියගේ මේ තේජාන්විත ගමන් විලාසයට කණ කොකා හඬවමින් දැඩි ලෙස රෝගාතූර වූයේ මීට සති කිහිපයකට ඉහතදියි.

භාතියගේ ඉදිරි දකුණු පාදය එක් වරම ඉදිමීමත් සමඟ භාතියට ඇවිද යාම අපහසු වුණා.

ඒ නිසාම මහව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් පොල්පිතිගම ප්‍රදේශයේ වැව් තාවුල්ලක් තම නැවතුම්පළ කරගත් භාතිය ගැන මුල් වරට ලයිව් ඇට් ශ්‍රී ලංකා තුළින් රටට අනාවරණ කළා.

එකී අනාවරණයන් ඔස්සේ පශු වෛද්‍ය කණ්ඩායම් සහ ආරක්ෂක අංශ වල මැදිගත් වීමෙන් භාතියගේ සුවය උදෙසා විශේෂ ප්‍රථිකාර වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණා.

නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින්, සොබා දහමට අවනතව භාතිය ඇතු අද උදෑසන ජීවිතක්ෂයට පත් වුණා.

දින ගණනාවක සිට එකම ඇලයකට වැතිරී සිටි භාතිය හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුනේ ඊයේ දිනයේයි.

ඉන් පසුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණ අතරතුර ද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා අවධාරණය කලේ භාතිය ඇතුගේ ජීවිතය ඉතාම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවටයි.

භාතිය හස්ථියාගේ වම් කන ආසන්නයට එල්ල වී තිබූ වෙඩි පහරින් වූ තුවාලය බරපතළවීම හේතුවෙන් හස්තියාගේ ස්නායු පද්ධතියට ඇති වූ අහිතකර බලපෑම හස්ථියාගේ මරණයට හේතු වන්නට ඇති බවටයි පශු වෛද්‍ය කණ්ඩායම් අවධාරණය කලේ.

 

Share This