
භාතිය ගොඩගන්න පශූ වෛද්‍යවරු සටනක – කලාවැව යස හස්තියාටත් වෙඩි (VIDEO)
මේ වසරේ පසුගිය ජූලි 07 වනදා දක්වා කාලය තුළ වන අලි මරණය 218 වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
සියවස් ගණනක් මුළුල්ලේ වන අලින්ගේ නිජ බිමක් ලෙස ශ්‍රී ලංකාවට නම් දරා සිටියත්, පෙරට වඩා අලින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ අවධානයට යොමුකළ යුතු කාලවකවානුවක් මේවනවිට නිර්මාණය වී තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 155 ක් පසුගිය වසර තුළ අහිමි වීමයි.
අලි මරණ 38ක් විදුලිසැර වැදීම හේතුවෙන් ද, මරණ 36ක් වෙඩි වැදීම් හේතුන් ද,හක්කපටස් ආහාරයට ගැනීමෙන් මරණ 21 ද, වනඅලි දුම්රියේ ගැටීම හේතුවෙන් මරණ 12 ද, විෂ ශරීරගත වීම හේතුවෙන් මරණ 03 ද ,මහා මාර්ග ආශ්‍රිත අනතුරු හේතුවෙන් වන අලි මරණයක්ද වාර්තා වී ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙවන් පසුබිමක මෙරට සමාජය තුල මේවනවිට කතා බහට ලක්වන ප්‍රධනතම හස්තියා වන්නේ භාතිය හස්තියයි.
වතුර වළක වැටී දැඩි ලෙස රෝගාතුරව සිටි භාතිය හස්ථියාගේ තත්ත්වය සම්බන්ධයෙන් පළමු වරට ලයිව් ඇට් ශ්‍රී ලංකා කණ්ඩායම මහව පොල්පිතිගම ප්‍රදේශයට ගොස් අනාවරණ කළා.
එම අවස්ථාවේ සිට භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු සොයා බැලීමට නිරන්තරයෙන් කටයුතු කළ අතර භාතියගේ තත්ත්වය සම්බන්ධයෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා අද දිනයේත් සොයා බැලීමක් සිදු කළා.
ඒ අනුව අද හයවන දිනටත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් මත තවත් ඖෂධ වර්ග කීපයක් හස්තියාට ලබා දීම මේවනවිට සිදු කෙරෙන බවයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කලේ.
එමෙන්ම හස්තියාගේ එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද මේවනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව පදයේ තත්ත්වය සැලකිල්ලට ගෙන කැල්සියම් ප්‍රමාණයක් ලබා දීමටයි තීරණය කෙරුණේ.
එමෙන්ම පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පවසන පරිදි මේ වන විට පැන නැගී ඇති ප්‍රධාන ගැටලුව හස්තියා එකම ඇලයකට නිදා සිටීමයි.
හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම සමාජ මාධ්‍ය තුල මේ වනවිට භාතිය හස්තියාගේ පෝෂ්‍යදායි මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය ආහාර බව පවසමින් සහ ඒවා හැකි ඉක්මනින් අවශ්‍ය බවට වන ලිපි සංසරණය වනවා.
ඒ අනුව සම්බන්ධයෙන් පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතාගෙන් විමසීමක් සිදු කළා.
එහිදී පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කළේ වෛද්‍ය නිර්දේශයට අනුව හස්තියාට අවශ්‍ය වන ආහාර සැපයීම සඳහා කිසිදු ගැටළුවක් මතුවී නොමැති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ හස්තියා රැඳී සිටින ප්‍රදේශය කැලෑ බද ප්‍රදේශයක් බැවින් සහ ප්‍රදේශවාසීන් එක්ව හස්තියාට අවශ්‍ය ආහාර සැපයීම සිදුකරන බැවින් එලෙස පිට ප්‍රදේශවලින් ආහාර රැගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
මේ අතර කලාවැව ආශ්‍රිත ප්‍රදේශය තම වාස භුමිය කර ගත් යස නමැති වයස අවුරුදු 20ක් පමණ වන හස්තියා වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටින බවට පසුගිදා තොරතුරු අනාවරණය වුණා.
ඒ අනුව ඊයේ අදාල ඇතු සොයා පණ්ඩුලගම වනජීවී සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් හා ගල්කිරියාගම අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කළා.
එහිදී තුවාල ලබා සිටි යස හස්තියා සිටි ප්‍රදේශය හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබු අතර පසුව නිර්වින්දනය කර හස්තියා වෙත ප්‍රතිකාර කිරීම සිදු කරනු ලැබුවා.
එමෙන්ම පොළොන්නරුව වනජීවී කලාපයේ කලුන්දෑව වනජීවී ඒකකයට අයත් කණ්ඩලම වැව් පරිශ්‍රයේ මීට මාස තුනක පමණ පෙර සිට වෙඩි වැදී රෝගී තත්වයේ පසුවන හස්ථියකු පිළිබඳව ද පසුගියදා තොරතුරු වාර්තා වුණා.
කණ්ඩලම වැව අසල සිටින අලියාට ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය කණ්ඩායම ඊයේ දින එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.