මගේ පාලනය නිසා එදා පැන ගිය සජිත්ට සහ අනුරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා -ජනපති රනිල්-

මගේ පාලනය නිසා එදා පැන ගිය සජිත්ට සහ අනුරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා -ජනපති රනිල්-

එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සජිත්ට මෙම මැතිවරණය ජයගත නොහැකි බවත්, සජිත්ට ලබාදෙන ඡන්දය අනුරට ලබාදෙන ඡන්දයක් වන බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසද ඉල්ලා මෙහිදී ඉල්ලා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (01) කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය අමතමින්.

තම නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මත බවත්, පෙර අත්තිවාරම දෙස බලා එය ගොඩනැගීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නා බවත් පැවසු ජනාධිපතිවරයා තමා මෙවර ජනතා වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැගීම වෙනුවෙන් බවද සඳහන් කළා.

සජිත් හා අනුර ජන වරම ඉල්ලන්නේ තිබෙන නිවසත් ගිනි තබා දැමීමට බව පෙන්වාදුන් ජනපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වනු ඇති බවයි සඳහන් කර සිටියේ.

Share This