මට අවශ්‍ය වන්නේ මගේ සැමියා මිස ඓතිහාසික චරිතයක් නොවේ – යුක්‍රේනයේ ජනපති ආර්යාව

මට අවශ්‍ය වන්නේ මගේ සැමියා මිස ඓතිහාසික චරිතයක් නොවේ – යුක්‍රේනයේ ජනපති ආර්යාව

යුද්ධය තම පවුලට ඇති කළ චිත්තවේගීය බලපෑම සම්බන්ධයෙන් යුක්‍රේනයේ ජනාධිපති ආර්යාව Olena Zelenska විසින් BBC පුවත්සේවය සමග කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙනවා.

“මෙය තරමක් ආත්මාර්ථකාමී විය හැකි නමුත් මට අවශ්‍ය වන්නේ මගේ සැමියා මිස ඓතිහාසික චරිතයක් නොවන බවයි” ඇය එහිදී සඳහන් කර ඇත්තේ.

පවුලේ අය සමග එකට කාලය ගත කිරීමට නොහැකි වීම පිළිබඳවද එහිදී යුක්‍රේන ජනාධිපති ආර්යාව අදහස් දක්වා ඇති අතර පවුලේ සියලුදෙනා ශක්තිමත්ව සිටින බවත්, ඔවුන්ට මානසික හා ශාරීරික වශයෙන් ශක්තියක් පවතින බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ආක්‍රමණය ආරම්භයේදී තිබූ ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව සඳහන් කර ඇති Olena Zelenska, කාලය ගෙවීයත්ම සන්සුන් වී සිට ජීවිතය ආරම්භ කිරීම අවශ්‍ය බව ඇය තේරුම් ගත් බවයි සඳහන් කරන්නේ.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන විට, Olena Zelenska සිය දරුවන් සමග රහසිගත ස්ථානවල මාස ගණනක් සැඟවී සිටියා.

පසුගිය වසරේ සැඟවී සිටීමෙන් පසු යළිත් ඇය නායකයින් හමුවීමට සහ දේශන පැවැත්වීමට ලොව පුරා සංචාරය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් ඇය සඳහන් කරන්නේ “මගේ සැමියා සමග එකට ජීවත් වෙන්නේ නැහැ, පවුල වෙන් වෙලා. අපිට එකිනෙකා දැකීමට අවස්ථාව තිබුණත් අපි කැමති තරම් ඊට අවස්ථාව නැහැ. මගේ පුතාට ඔහුගේ පියා නැතුව පාලුයි.” යනුවෙනුයි.

කෙසේවෙතත්, යුද්ධය තුළ ජීවත්වීමේ අවිනිශ්චිතභාවය තම දරුවන්ට මානසිකව පීඩාවක් ගෙන ඇති බවයි ඇය පවසන්නේ.

එමෙන්ම “මගේ දරුවන් කිසිවක් සැලසුම් නොකරන බව බලා සිටීම මට වේදනාවක්. මගේ දුවට වයස අවුරුදු 19 යි. ඔවුන් සංචාරය කිරීමට සිහින දකිනවා, ඇයට එවැනි අවස්ථාවක් තවමත් උදාවී නැහැ ,ඒත් අපි එකට ජීවත්වෙනවා කියන හැඟීම තිබෙනවා ” යනුවෙන්ද Olena Zelenska සඳහන් කරනවා.

ජනාධිපති ආර්යාව සහ යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky උසස් පාසැල් කාලයේ සිට පෙම්වතුන් වූ අතර විකට කණ්ඩායමක සහ රූපවාහිනී චිත්‍රාගාරයක ඔහු නළුවෙකු ලෙසත්, ඇය තිර රචකයෙකු ලෙසත් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තම සැමියා අද සිටින “ඉතිහාසගත චරිතය” බවට පත්වනු ඇතැයි තමා සිහිනෙන්වත් නොසිතූ බවත්, තමාට ඔහු මග හැරී ඇති බවත්, ඔහු තම සැමියා ලෙස තමා සමග සිටීමට අවශ්‍ය බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම Olena Zelenska තම සැමියා පිළිබඳව පවසා ඇත්තේ “මම ඔහුව විශ්වාස කරනවා. ඒ වගේම මම ඔහුට සහයෝගය දෙනවා. ඔහුට ප්‍රමාණවත් ශක්තියක් ඇති බව මම දන්නවා. ඕනෑම පුද්ගලයෙකුට මෙම තත්ත්වය වඩා දුෂ්කර වනු ඇතැයි මම සිතනවා. ඔහු සැබවින්ම ඉතා ශක්තිමත් සහ ඔරොත්තු දෙන පුද්ගලයෙක් ” යනුවෙනුයි.

ජනාධිපති ආර්යාව ලෙස ඇය යුක්‍රේනියානුවන්ට යුද්ධයේ මානසික බලපෑම සමග කටයුතු කිරීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේනියානුවන්ට හෙට ගැන විශ්වාසයක් හෝ අනාගතය ගැන විශ්වාසයක් තිබිය නොහැකි වුවත්, ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති බවයි යුක්‍රේන ජනාධිපති ආර්යාව Olena Zelenska සඳහන් කරන්නේ.

Share This