
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ඉදිකිරීමට ණය පොලිය හරස්වන ලකුණු (VIDEO)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරීම සඳහා අනුමත වී ඇති චීන එක්සිම් බැංකුවේ ණය මුදල සඳහා වන පොලී අනුපාත අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් පසුගියදා රාජ්‍ය ගිණුම්කාරක සභාව හමුවේ පෙන්වා දුන්නේ අදාළ පොලී අනුපාත අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් කලක් වැඩ නතරවී තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට ඉකුත්දා පියවර ගැනුණා.
ඒ සඳහා චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ද අනුමත වී තිබෙනවා.
ඉතිරි මුදල් දේශීය අරමුදල් ඔස්සේ සපයා ගැනීමට නියමිතයි.
චීන එක්සිම් බැංකුවෙන් අනුමත වූ ණය මුදල සඳහා 2.5% ක ස්ථාවර පොලී මුදලක් හිමිවන බවට මුලින් අදහස් පළ වුණා.
කෙසේ වෙතත් ඊට වඩා වැඩි පොලියක් ගෙවීමට ආණ්ඩුව එකඟවී තිබීම පිළිබඳව පසුගියදා පැවති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණා.
එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2.5% ක පොලී අනුපාතයට ණය මුදල් ලබාදීමට චීන එක්සිම් බැංකුව එකඟ නොවීම හේතුවෙන් විචල්‍යය පොලී අනුපාත මත 3.5% ක උපරිම පොලියකට ණය ලබා ගැනීමට සිදු වූ බවයි.
කෙසේ වෙතත් එමඟින් ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන නිසා ඒ පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දී තිබෙනවා.
එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මහා මාර්ග අමාත්‍යාංශය ද අදාළ පොලී ප්‍රතිශත අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර, රට පුරා අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇති ණය මුදලින් කොටසක් පියවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් මුදල් වෙන්කරවා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
රාජ්‍ය ගිණුම්කාරක සභාව හමුවේ මාර්ග ඉදිකිරීම සඳහා ආණ්ඩුව ඉකුත් ජූලි මස 31 වැනිදා වනවිට රුපියල් බිලියන 310 කට අධික මුදලක් දේශීය බැංකුවලින් ලබාගෙන ඇති බවයි.
මේ අතර, රාජ්‍ය ගිණුම්කාරක සභා රැස්වීමේදී වැඩිදුරටත් හෙළිව තිබෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට විදේශ ණය ලෙස ඩොලර් බිලියන 37ක් සහ දේශීය ණය ලෙස රුපියල් ට්‍රිලියන 19.6ක් ද ගෙවීමට නියමිතව තිබෙන බවයි.