මහමග සුනඛයෙකු හප්පා මරා දැමූ කතක් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරයට

මහමග සුනඛයෙකු හප්පා මරා දැමූ කතක් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරයට

කොට්ටා​ව, පන්නිපිටිය විද්‍යාල මාවතේදී බ්ලැකී නමින් හඳුන්වන සුනඛයකු පසුගියදා කාන්තාවක පැදවූ වාහනයකට යට කර මරා දමා තිබු​ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇය දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම සුනඛයාගෙන් විටින් විට තමාට කරදර සිදුවූ බවට මෙම කාන්තාව මීට පෙර දන්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම සුනඛයා පසුගියදා මාර්ගයේ ධාවනය වූ වාහනයකට යටකර මියයන අයුරු ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබූණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් බ්ලැකී නම් සුනඛයා වෙනුවෙන් පෙරට ආ ගම්වාසීන් එකී කාන්තාවට එරෙහිව කොට්ටාව පොලිසියට පසුගිය 16 දා පැමිණිල්ලක් සිදු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ආයතන හා එක්ව පොලිස්පතිවරායටද, අධිකරණ අමාත්‍යවරයාටද, කොළඹ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ ගැන ලිපියකින් දැනුම් දීමට කටයුතු කළා.

පසුව කොට්ටාව පොලිසිය කරුණු සලකාබලා 1907 අංක 7 දරණ සත්ත්ව හිංසා වැලැක්වීමේ ආඥ පණත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති යටතේ මෙය දඬුවම් ලැබිය යුතු වරදක් බවට සලකා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුව ඊයේ (25) අදාල පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැණුනු අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවයේ කරුණු සහ CCTV කැමරා සාක්ෂි සලකා බලා අදාල කාන්තාව දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

Share This