මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමීම “ලයිව් ඇට්” නිසා නවතී (VIDEO)

මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමීම “ලයිව් ඇට්” නිසා නවතී (VIDEO)

අවිධිමත් වැලි ගොඩදැමීම නිසා ජීවිත රැසක් අවදානමේ හෙළමින් මහවැලි ගංගාවේ දකුණු ගං ඉවුර කැඩීයාමේ තර්ජනයක් මතුව ඇති බවට ‘ලයිව් ඇට් ශ්‍රී ලංකා’ කළ හෙළිදරව්වට අනුව එම වැලි ගොඩදැමීමේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගැනුණා.

ඒ අනුව එහි තවත් පියවරක් ලෙස අවදානම් මට්ටමේ පවතින මහවැලි ගංගාවේ දකුණු ගං ඉවුර මේ වනවිට ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත්තේ ස්වර්ණවාහිනී ‘හෙළිදරව්ව’ තවදුරටත් ඵල දරමින්.

කන්තලේ, සමගිපුර ඇතුළු ගම්මාන රැසක් හරහා ගලා බසින මහවැලි ගංගාවේ දකුණු ඉවුර අවට ගම්මාන රැසක ජනතාවගේ ජීවිකාව සරිකර ගන්නා ප්‍රධාන මාර්ගය වනවා.

නමුත් ඊට මුවාවී ඇතැමුන් අනවසරයෙන් සිදුකරන අවිධිමත් වැලි ගොඩදැමීම නිසා 2011 සහ 2014 වසරවලදී මේ දකුණු ගං ඉවුර කැඩී යන්නේ පවුල් 650කට වැඩි පිරිසකගේ ජීවිතද අවදානමට දමමින්.

ඒ අවස්ථාවේ ඊට පැලැස්තර විසඳුම් යොදන බලධාරීන් උඩින් පල්ලෙන් පස් තට්ටුවක් දමා බැම්ම පිළිසකර කිරීමට කටයුතු සිදු කළා.

නමුත් අවිධිමත් වැලි ගොඩදැමීමේ කටයුතු නතර කරන්නට ඔවුන් පියවර ගත්තේ නෑ.

පසුගිය දිනෙක කන්තලේ, සමගිපුර ප්‍රදේශයේ සංචාරයක නිරතවූ ‘ලයිව් ඇට් ශ්‍රී ලංකා’ හෙළිදරව්ව අප කණ්ඩායමට දක්නට ලැබුණේ මහවැලි ගඟේ දකුණු ගං ඉවුර තව තවත් විනාශ කරමින් එසේ වැලි ගොඩදමන ආකාරයයි.

ඒඅනුව මේ පිළිබඳව ස්වර්ණවාහිනිය කළ හෙළිදරව්වෙන් අනතුරුව පසුගියදා රැස්වූ ත්‍රිකුණාමලය සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණේ කන්තලේ සමගිපුර ඇතුළු ගම්මාන හරහා ගලා බසින මහවැලි ගංගාවේ දකුණු ඉවුරේ වැලි ගොඩදැමීම තාවකාලිකව නතර කිරීමටයි.

ඒ අනුව හෙළිදරව්ව තවදුරටත් ඵලදරමින් ඛාදනයට ලක්වී ඇති ගංවතුර ආරක්ෂක වේල්ල ප්‍රතිසංස්කරණය කර බැම්ම ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියද බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

Share This