මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මාතර, ගොඩගම පිහිටි ආයතනයක හිමිකරුවෙක් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබුණු අතර, එම පැමිණිලිවලට අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ

වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130ට අධික බව සඳහන්

අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී ඇති අතර, යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීති විරෝධි අයුරින් පවත්වාගෙන ගොස් තිබෙනවා

අදාළ පැමිණිලි විභාග කිරිම සඳහා රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ (13) දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනතේ අඩංගු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා

අත්අඩංගුවට ගත් සැකකරු අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා

Share This